ලංගම බස් රථයක එංජිමට යූරියා දාලා – හිරුණි ලක්ෂිකා

නුවරඑළිය ඩිපෝවට අයත් ගාල්කර තිබූ බස් රථයක එංජිමට යූරියා පොහොර දැමීමක් සම්බන්ධයෙන් නුවරඑළිය හයිෆොරස්ට් පොලීසිය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
නුවරඑළියේ සිට හයිෆොරස්ට් දක්වා දිනපතා ධාවනය වන බස් රථයකට මෙලෙස යූරියා පොහොර දමා තිබේ.
එම බස් රථය හයිෆොරස්ට් ප්‍රදේශයේ ගාල් කර තිබියදී ඉකුත් 12වනදා රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු විසින් එංජිම තුළට මෙලෙස යූරියා පොහොර දමා ඇත.
බස් රථය උදෑසන ධාවනය කිරීමට ප්‍රථම, එංජිමේ තෙල් පරික්ෂා කිරීම සඳහා ආවරණය විවෘත කර බැලීමේදී එංජිමේ මූඩිය ගලවා තිබූ බව අනාවරණය වී තිබේ.
එමෙන්ම ඒ අසළ සුදු පාට යූරියා පොහොරවලට සමාන රසායනික ද්‍රව්‍යයක් එංජිම වටා වැටී ඇති අතර, ඒ සම්බන්ධයෙන් සැකසිතා එම බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා විසින් පොලීසියට පැමිණිලි කර ඇත.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී නුවරඑළිය ඩිපෝ කළමණාකාරවරයා පවසා සිටියේ, බස් රථයට කිසියම් පුද්ගලයෙක් හෝ පිරිසක් එක්ව එංජිම තුළට යූරියා පොහොර දමා ඇති බවය.
ඒ අනුව බස් රථය පණ නොගන්වා ඇඳගෙන නුවරඑළිය ඩිපෝව වෙත රැගෙන විත් එංජිම ගලවා පරීක්ෂා කිරිමට පියවර ගන්නා බව හෙතෙම සඳහන් කළේය.