වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා බද්ධ වූ, අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයක් සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් එලැඹි තීරණයක් මත දැනට අග්‍රාමාත්‍ය කාර්යාලයේ ස්ථාපිත කර ඇති කාර්ය සාධක බලකාය විසින්, ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය (NEMIS) සමඟ පළාත් අධ්‍යාපන තොරතුරු පද්ධති සම්බන්ධීකරණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වූ සාකච්ඡාවක් අගෝස්තු 12 දින අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිර පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී දුරස්ථ පාසල් සඳහා ද ඩිජිටල්කරණය තුලින් අධ්‍යාපනය සඳහා සම ප්‍රවේශ ලබාදීම හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී සම්පත් බෙදීයාමේ විෂමතාවය අවම කර අධ්‍යාපනය සඳහා සම අවස්ථාව සැලැස්වීම, අධ්‍යාපනය ඩිජිටල්කරණය සඳහා පළාත් මට්ටමින් දැනට භාවිත වන ක්‍රමවේද සහ ඒ ආශ්‍රිතව හඳුනාගත් ප්‍රායෝගික ගැටළු හඳුනාගෙන ජාතික මට්ටමෙන් ඵලදායී හා කාර්යක්ෂම ක්‍රමවේදයක් නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා,

ඩිජිටල් විසඳුම් සහ තාක්ෂණය භාවිතයේ දී පළාත් මට්ටමේ පවතින විෂමතා අවම කිරීම සඳහා අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග මෙන්ම ඩිජිටල් විසඳුම් ප්‍රසම්පාදනයේදී විධිමත් ක්‍රමවේද අනුගමනය කිරීම සම්බන්ධයෙන් අවධාරණය කරන ලදී.

පළාත් නියෝජනය කරමින් සහභාගී වූ අධ්‍යාපන ලේකම්වරුන් හා අධ්‍යක්ෂවරුන් විසින් එක් එක් පළාත්වල පාසල්, පළාත් අධ්‍යාපන කාර්යාලවල ඩිජිටල් විසඳුම් භාවිතය පිළිබඳ දත්ත මෙන්ම යහපත් පරිචයන් (Best Practices) පිළිබඳව මෙහිදී ඉදිරිපත් කිරීම් සිදුකරන ලදී. එමෙන්ම යාවත්කාලීන තොරතුරු ලබා ගැනීම තුලින් අධ්‍යාපන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජාතික මට්ටමින් ගනු ලබන තීරණ වඩා නිවැරදිව ගැනීමට හැකි වන බව අග්‍රාමාත්‍ය ලේකම්තුමා විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.

මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ ලේකම් වරුණ ධනපාල මහතා, ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුල මහත්මිය, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඒ.බී.එම්. අෂ්රෆ් මහතා, කාර්ය සාධක බලකායේ සාමාජිකයින්, අධ්‍යාපන අමාත්‍යාංශයේ NEMIS ව්‍යාපෘතියට අනුයුක්ත ගුවන් හමුදා නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම සියලුම පළාත් නියෝජනය කරමින් අධ්‍යාපන ලේකම්වරුන් හා අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ද සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

END/PMMD/MMP/14082025