ප්‍රතිපත්ති සම්පාදනයේ අතුරුදන් වූ හඬවල් – ආචාර්ය ජෙහාන් පෙරේරා

එක්සත් ජනපද වෙළඳ කාර්යාලයෙන් ලැබුණු පුවත බලාපොරොත්තු වූවාට වඩා යහපත්ය. 2024 අප්‍රේල් මාසයේදී, එක්සත් ජනපදය හදිසියේම ශ්‍රී ලංකා අපනයන සඳහා 44% ක බද්දක් පැනවූ විට ශ්‍රී ලාංකිකයන් කම්පනයට පත්විය. දැන්, එම බද්ද 20% දක්වා අඩුකර ඇති අතර එය විශාල සහනයකි. විශේෂයෙන් එක්සත් ජනපදය ප්‍රතිවාදියකු ලෙස සලකන චීනය සමඟ ශ්‍රී ලංකාවේ සමීප සබඳතා නිසා එක්සත් ජනපදයට ඉහළ බද්ද තබාගත හැකිව තිබූ පසුබිමක මෙය ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රධාන ජයග්‍රහණයකි. නව, අඩු බදු අනුපාතය දැන් වඩාත් සාධාරණ වන අතර ඉන්දියාව, බංග්ලාදේශය සහ පාකිස්ථානය වැනි අනෙකුත් ආසියානු රටවල් ගෙවන බදු අනුපාතයට එය සමානය. මෙම වෙනස සිදුවූයේ ශ්‍රී ලංකාවේ ඉහළ නිලධාරීන් වොෂින්ටන් ඩීසී වෙත කළ සංචාරයකින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එක්සත් ජනපද වෙළඳ නියෝජිත තානාපති ජේමිසන් ග්‍රියර් අතර ජූලි මාසයේදී වීඩියෝ ඇමතුමකින් පසුවය.

මුලදී විවේචකයන් පැවසුවේ, රජය ප්‍රතිචාර දැක්වීමට ඉතා මන්දගාමී බවත්, සාකච්ඡා සඳහා තම හොඳම කණ්ඩායම භාවිත නොකරන බවත්ය. එහෙත් අවසාන ප්‍රතිඵලයෙන් පෙනීයන්නේ ඔවුන් වැරදි බවයි. තිරය පිටුපස නිහඬව කටයුතු කිරීමෙන් සහ ගැටුම් වළක්වා ගැනීමෙන්, ශ්‍රී ලංකා කණ්ඩායම අපනයනකරුවන් සඳහා වඩා හොඳ වෙළඳ කොන්දේසි ලබාගැනීමට සමත් විය. මෙම අනපේක්ෂිත සාර්ථකත්වය රජයට විශාල ජයග්‍රහණයක් වන අතර, දුෂ්කර ගෝලීය කාලවලදී ආර්ථිකය හැසිරවීමේ හැකියාව කෙරෙහි මහජන විශ්වාසය ගොඩනැගීමට උපකාරී වී තිබේ. අඩු බදු අනුපාත නිල වශයෙන් තහවුරු කිරීමටත් පෙර පවා, කොළඹ කොටස් වෙළඳපොළ නව වාර්තාගත ඉහළම අගයක් ලබාගත් අතර, එය අඛණ්ඩව ඉහළ ගියේය. මෙම ශක්තිමත් කාර්යසාධනය පෙන්නුම් කරන්නේ, රජය ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා බුද්ධිමත් තීරණ ගන්නා බව විශාල ආයෝජකයන් සහ ව්‍යාපාරික නායකයන් විශ්වාස කරන බවය.

එහෙත් මෙම බලාපොරොත්තුව තවමත් බොහෝ ජනයාගේ දෛනික ජීවිතය වැඩිදියුණු කර නැත. බොහෝ කම්කරුවන් තවමත් ආර්ථික අර්බුදයට පූර්වයෙන්, වසර තුනකට පෙර ලැබූ වැටුප්ම ලබන අතර, භාණ්ඩ හා සේවා මිල ගණන් දෙගුණ වී හෝ තුන්ගුණයකින් වැඩි වී ඇත. ජනාධිපතිවරයා සිය කතාවලදී පවසා ඇත්තේ, රජය ලබාගන්නා විශාල ආර්ථික ප්‍රගතිය සාමාන්‍ය ජනතාවට සැබෑ උපකාරයක් බවට පත්කළ යුතු බව දන්නා බවයි. පර්යේෂණවලින් පෙනීයන්නේ, 2022 සිට ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව දෙගුණයකටත් වඩා වැඩිවී ඇති බවයි. අද වනවිට, පුද්ගලයන් 4 දෙනකුගෙන් එක්අයකු දරිද්‍රතාවයේ ජීවත් වන අතර, අර්බුදයට පෙර එය 10 දෙනකුගෙන් එක් අයකු පමණක් විය. ඊට සාපේක්ෂව, විශේෂයෙන් ළමුන් අතර මන්දපෝෂණය ද විශාල ගැටලුවකි. ශ්‍රී ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 18%ක් පමණ මන්දපෝෂණයේ බරපතල ස්වරූපයක් වන කෘෂවීමෙන් පෙළෙන බව යුනිසෙෆ් සංවිධානය පවසයි. මෙම අනුපාතය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉතා දුර්වල අගයන් ලෙස සලකනු ලබන අතර, එය දකුණු ආසියාවේ නරකම එකකි.

විෂමතා අඩුකළ යුතුය

ශ්‍රී ලංකාව තවමත් කුඩා පිරිසක්, බොහෝ දුරට නගරවල, සුවපහසුවෙන් ජීවත් වන රටක් වන අතර, අනෙක් බොහෝදෙනෙක් මූලික අවශ්‍යතා සපුරාගැනීමට අරගල කරති. මෙම පරතරය මුදල් ගැන පමණක් නොවේ. එය සමාජ, සංස්කෘතික සහ දේශපාලන ජීවිතය තුළ ද දක්නට ලැබේ. අතීත නායකයන් මෙන් නොව, වත්මන් ආණ්ඩුවේ සාමාන්‍ය ජනතාවගේ අරගල හරහා ජීවත් වූ නායකයන් සිටින අතර, ඔවුන් මෙම අසාධාරණ ක්‍රමය වෙනස් කිරීම ගැන බැරෑරුම් ලෙස සිතන බව පෙනේ. සියල්ලන් රාජ්‍ය පාලනයට ඇතුළත් කිරීමේ අදහස, සෑම කෙනකුම රටේ ප්‍රගතියේ කොටසක් බව සහතික කිරීම අන් කවරදාකටත් වඩා වැදගත් වන්නේ එබැවිනි. සියල්ලන් රාජ්‍ය තන්ත්‍රයට ඇතුළත් කිරීම ආර්ථිකය නිවැරදි කිරීමට වඩා ඉදිරියට යා යුතුය. නව ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් පිළිබඳ ප්‍රතිපෝෂණ ලබාගැනීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන ප්‍රසිද්ධ රැස්වීමක් මේ සඳහා එක් උදාහරණයකි. මෙය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් සහාය දක්වන විශාල වැඩසටහනක කොටසකි. එය සිවිල් සමාජයට, උනන්දුවක් දක්වන පුද්ගලයන්ට සහ සංවිධානවලට ප්‍රතිපත්ති සකස් කිරීමේදී සහභාගී විය හැකි බව සහතික කිරීමට උපකාරී වේ.

ජනමාධ්‍ය ප්‍රතිපත්ති රැස්වීමේදී, ආබාධිත පුද්ගලයන්ගේ කණ්ඩායම් සහ LGBTIQ+ ප්‍රජාවේ පුද්ගලයෝ තමන් බොහෝවිට කොන්වී ඇති බවත්, අසාධාරණ ලෙස සලකනු ලබන බවත් පෙන්වාදුන්හ. මහජන පණිවිඩ වෙත ඔවුන්ට සැමවිටම ප්‍රවේශ විය නොහැකි ආකාරය සහ ජනමාධ්‍ය බොහෝවිට සුළුතර කණ්ඩායම්වල නිෂේධාත්මක හෝ වැරදි ප්‍රතිරූප පෙන්වන ආකාරය වැනි පැහැදිලි උදාහරණ ඔවුහු සඳහන් කළහ. මෙම ප්‍රජාවන් බොහෝවිට පවසා ඇත්තේ, සාමාජීයීය, ආර්ථික සහ දේශපාලනික වශයෙන් ඔවුන් සමාජයට සම්පූර්ණයෙන්ම ඇතුළත් කරගැනීමට අවශ්‍ය බවයි. ප්‍රතිපත්තිය සකස් කිරීමේදී ජනමාධ්‍ය අමාත්‍යාංශය ඔවුන්ගේ හඬට සවන්දීමට විවෘතව සිටීම ධනාත්මක පියවරක් විය. කෙසේවෙතත්, මෑතකදී පැවැති තවත් බොහෝ රැස්වීම් මෙන්, මෙම රැස්වීමේ එක් ප්‍රධාන ගැටළුවක් වූයේ, ජනවාර්ගික හා ආගමික සුළුතර ප්‍රජාවන්ගෙන්, විශේෂයෙන් උතුර හා නැගෙනහිරින් පැමිණි අය ඉතා සුළු පිරිසක් පමණක් සහභාගී වීමයි. ඔවුන්ගේ නොපැමිණීම බරපතල පරතරයක් විය.

මෙම රැස්වීමට උතුර-නැගෙනහිර ජනතාව සහභාගී නොවීම බැරෑරුම් ලෙස සැළකිව යුතුය. මෙවර පමණක් නොව, කල්පවතින ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කිරීමේ සියලු උත්සාහයන්හිදී ඔවුන්ගේ සහභාගීත්වය වැදගත් වේ. සංවිධායකයන් එම කලාපවල සිවිල් සමාජ කණ්ඩායම්වලට ආරාධනා කළ නමුත් ඔවුන් පැමිණියේ නැත. මෙය හුදෙක් පැමිණීමේ හෝ සැලසුම් කිරීමේ ගැටලුවක් ලෙස පැහැදිලි කළ නොහැක. ඔවුන්ගේ නොපැමිණීම පෙන්නුම් කරන්නේ, තමන් නොසළකා හැර ඇති බවට ගැඹුරු හැඟීමක් ඔවුන්ට ඇති බවයි. ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසය පුරාම, මෙම ප්‍රජාවන් සාමකාමීව මෙන්ම ගැටුම් හරහාද ගෞරවය, සමාන අයිතිවාසිකම් සහ ස්වයං පාලනය සඳහා සටන් කර ඇත. ඔවුන් බොහෝ විට සිංහල-බෞද්ධ බහුතරය සහ බොහෝ ආණ්ඩු සමඟ ගැටුම් ඇති කරගෙන ඇති අතර, ස්ථිර සුළුතරයන් ලෙස, ඔවුන් අනෙක් අයට වඩා දුක්විඳ තිබේ. මෙම ඉතිහාසයේ දිගුකාලීන ප්‍රතිඵලයක් වන්නේ විශ්වාසයේ ගැඹුරු ඌණතාවයි.

සැක සහිත සුළුතරයන්

උතුර-නැගෙනහිර බොහෝ දෙමළ සහ මුස්ලිම් සිවිල් සමාජ කණ්ඩායම්, රජය මෙහෙයවන වැඩසටහන්වලට එක්වීමෙන් සැබෑ වෙනසක් සිදුවනු ඇතැයි සැක කරති. රජය සමහර විට ඔවුන්ගේ හඬ නිහඬ කිරීමට හෝ සැබෑ දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා වන ඉල්ලීම් දුර්වල කිරීමට ඔවුන් එක්කර ගන්නා බවට ඔවුහු කනස්සල්ලට පත්ව සිටිති. සුළුතර අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ වගකීම සහතික කිරීමට ශක්තිමත් ක්‍රමවේද නොමැතිව, මෙම උත්සාහයන් ප්‍රදර්ශනය සඳහා පමණක් බව පෙනෙන්නට පුළුවන. මේ නිසා, මෙම කණ්ඩායම් බොහොමයක් වැඩි ස්වයං පාලනයක් ඉල්ලා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය මඟින් මෙම ඉල්ලීම සපුරාලීම සඳහා පළාත් සභා ක්‍රමය නිර්මාණය කරන ලදී. එය ප්‍රාදේශීය ප්‍රජාවන්ට වැඩි බලයක් ලබාදීමට සහ මධ්‍යම රජයේ පාලනය අඩුකිරීමට අදහස් කරන ලදී. එහෙත් මෙම ඉලක්කය සපුරා නොමැත. 2018 සිට පළාත් සභා සඳහා මැතිවරණ පවත්වා නොමැත. ඒ වෙනුවට, ඒවා දැන් පාලනය කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් තෝරාගන්නා ලද ආණ්ඩුකාරවරුන් විසිනි. මෙම ඉහළ සිට පහළට පාලනය උතුර සහ නැගෙනහිර ජනතාවට තවදුරටත් තමන් බැහැර කර ඇති බවක් දැනීමට හේතු වී තිබේ.

සිවිල් සමාජ කණ්ඩායම් බොහෝවිට රජයෙන් ඉල්ලා සිටියේ, දිගු කලක් ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණ පවත්වන ලෙසයි. මෙම මැතිවරණ නොපැවැත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන අතර, ප්‍රාදේශීය මට්ටමින් ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරයි. මෙම තත්වය තුළ, කොන්කර ඇති ප්‍රජාවන්ට ඔවුන්ගේ හඬ වැදගත් බව හෝ ඔවුන්ගේ සහභාගීත්වය සැබෑ වෙනසකට තුඩුදෙන බව ඒත්තු ගැන්වීම දුෂ්කර ය. මෑත කාලීන ජනමාධ්‍ය ප්‍රතිපත්ති උපදේශනය හොඳ උදාහරණයකි. ආබාධිත සහ LGBTIQ+ කණ්ඩායම් ඊට ඇතුළත් කිරීම ධණාත්මක පියවරක් වූ නමුත්, ජනවාර්ගික සහ ආගමික සුළුතරයන් බැහැර කිරීම නිසා එය සැබවින්ම ජාතික උත්සාහයක් ලෙස හැඟෙන්නේ නැත. මෙය ප්‍රතිපත්තියේ විශ්වසනීයත්වය දුර්වල කරයි. විශේෂයෙන් අතීතයේ දී ජනමාධ්‍ය විසින් නොසළකාහරින ලද හෝ වැරදි ලෙස නිරූපණය කරන ලද සියලුම ප්‍රජාවන්ගේ හඬ සහ අවශ්‍යතා ඇතුළත් නොවන්නේ නම් ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සාර්ථක විය නොහැක.

කෙටුම්පත් කර ඇති ජනමාධ්‍ය ප්‍රතිපත්තියේ හොඳ කරුණු කිහිපයක් තිබේ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අයිතියක් ලෙස ප්‍රකාශනයේ නිදහසට සහාය දක්වන අතර, විවිධ ආකාරයේ ජනමාධ්‍ය, විවිධ හිමිකාරිත්වයන් සහ ජනමාධ්‍ය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ස්වාධීනත්වය සඳහා ඇති අවශ්‍යතාව ඉස්මතු කරයි. ජනමාධ්‍ය කළමනාකරණය කිරීම සඳහා රජය සහ සිවිල් සමාජය යන දෙකම එක්ව කටයුතු කරන බෙදාගත් පද්ධතියක් ද එමගින් යෝජනා කරයි. නිසි ලෙස සිදුකළහොත්, මෙය දේශපාලනය ජනමාධ්‍ය පාලනයෙන් බැහැරව තබාගැනීමට උපකාරී විය හැකිය. කෙසේවෙතත්, ජාතික සමගිය සහ යහපාලනය ගොඩනැගීම ඉලක්කය නම්, රජය පෙනුම සඳහා මිනිසුන් ඇතුළත් කිරීමට වඩා වැඩි යමක් කළ යුතුය. එය සිංහල, දෙමළ, මුස්ලිම් සහ අනෙකුත් සියලුම ප්‍රජාවන්ට ජාතික ප්‍රතිපත්ති සම්පාදනයට සහභාගී වීමට සැබෑ අවස්ථා නිර්මාණය කිරීමක් විය යුතුය. මෙයින් අදහස් කරන්නේ, ජාතික සමගිය පිළිබඳ විවෘත සංවාදයේදී, බලය වඩාත් සාධාරණ ලෙස බෙදාගැනීම වෙනුවෙන්, අන්‍යෝන්‍ය ගෞරවය සහ සාධාරණ හා සියල්ලන් ඇතුළත් සමාජයක් ගොඩනැගීම සඳහා එකඟවූ පොරොන්දුවක් හරහා, ආයතන ස්වාධීනව තබාගැනීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ නීතියෙන් නියම කර ඇති පරිදි මැතිවරණ පැවැත්වීමයි.

  – ආචාර්ය ජෙහාන් පෙරේරා

END/MMP/10082025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *