වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අයට නඩු!

2025 වර්ෂයට අදාළව ප්‍රමාද වූ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු නිලධාරීන් විසින් එකී ප්‍රකාශ ලබා නොදෙන්නේ නම් ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන සභාව විසින් නිවේදනයක් නිකුත් කරමින් , පසුගිය මාර්තු 31 වැනි දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු නිලධාරීන් විසින් අදාළ වත්කම් සහ බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන සභාවට භාර දීම සඳහා ආයතන ප්‍රධානියා වෙත භාරදිය යුතු අවසාන දිනය පසුගිය ජුනි මස 30 වැනි දින වන බව දන්වා සිටියේය.
කෙසේවෙතත්, මේ මස 31 දින වන විට දී වත් අදාළ නියෝගය පිළිපදින්නට අපොහොසත් වන නිලධාරීන් හට 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 90 වැනි වගන්තිය ප්‍රකාරව නඩු පැවරීමට කටයුතු කරන බව එම කොමිෂන් සභාව දන්වා සිටී. (දැන්වීම පහළින් කියවන්න)
2025.06.30 දින සිට 2025.08.31 දින දක්වා භාරදෙනු ලබන ප්‍රමාද වූ වත්කම් සහ බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව දඩ අය කිරීමක් සිදුකරන බවත් ඒ අනුව මෙතෙක් තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාර නොදුන් නිලධාරීන් සිටී නම් හැකි ඉක්මනින් එම ප්‍රකාශ තම ආයතන ප්‍රධානියාට භාරදී තමන්ට නියම විය හැකි පරිපාලන දඩ මුදල අවම කර ගැනීමට කටයුතු කරන ලෙසද එම කොමිසම නිවේදනය කර තිබේ.
ජුනි මස 30 දිනට පසුව ඉදිරිපත් කරන වත්කම් සහ බැරකම් ප්‍රකාශ ආයතන ප්‍රධානී විසින් භාරගත යුතු බවත් යම් හෙයකින් ආයතන ප්‍රධානීන් විසින් එසේ භාර ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත දන්වා සිටින ලෙසත් එම කොමිෂන් සභාව සිය නිවේදනයේ තවදුරටත් සඳහන් කර ඇත.
2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදන අයට නඩු by poornima on Scribd
Sources:AdaDerana
END/MMP/04082025