ජාතික ප්‍රගතිය සඳහා සහභාගී වීම අත්‍යවශ්‍ය වේ – ආචාර්ය ජෙහාන් පෙරේරා

මේ වන විට රට තුළ දේශපාලන බෙදීම් රාශියක් නිර්මාණය වී තිබේ. ආණ්ඩුව විසින් යෝජිත අධ්‍යාපන වෙනස්කම්වලට විපක්ෂය ප්‍රතිචාර දක්වන ආකාරයෙන් මෙය පැහැදිලිව දැකගත හැකිය. ආණ්ඩුව සිදුකරන ඕනෑම දෙයකට ප්‍රශංසා කිරීමට විපක්ෂය කැමති නැත. රජය ආර්ථිකය ස්ථාවරව තබාගැනීම වැනි යහපත් දෙයක් කළත්, විපක්ෂය පවසන්නේ එය සිදුවන්නේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති දිගටම කරගෙන යන නිසා පමණක් බවය. අතීතයේ නරක අතට හැරුණු අපරාධ සහ මත්ද්‍රව්‍ය ආශ්‍රිත ප්‍රචණ්ඩත්වය වැනි ගැටළු පාලනය කිරීමට වර්තමානයේ රජය අපොහොසත්වීම මතද දොස් පවරනු ලැබේ.
කෙසේවෙතත්, අන්තර්ජාතික මූල්‍ය අරමුදල(IMF) වැනි වඩාත් මධ්‍යස්ථ සංවිධාන, විශේෂයෙන් ආර්ථික ඉලක්ක කරා ළඟාවීම සහ පාලනය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් රජයේ කටයුතු ගැන සතුටු වන බව පෙනේ. රජය ඔවුන්ගේ ගිවිසුමේ දක්වා ඇති ඉලක්ක සපුරාගන්නා බව IMF විශ්වාස කරයි. එයින් පෙන්නුම් කරන්නේ රජය බරපතල හා තීරණාත්මක ප්‍රතිසංස්කරණ සඳහා කැපවී සිටින බවයි. ඇත්තවශයෙන්ම, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ රජයේ විනය අනෙකුත් රටවලට හොඳ ආදර්ශයක් විය හැකි බව IMF පවසා තිබේ.
දේශපාලන එදිරිවාදිකම් රට තුළ අලුත් දෙයක් නොවේ. එහෙත් වත්මන් තත්ත්වය වෙනස්වන්නේ ආණ්ඩුවේ ඉහළ පෙළේ නායකයන් සහ විපක්ෂය අතර ගැඹුරු සබඳතා නොමැති වීමයි. මෙම සහයෝගීතාව නොමැතිකම නිසා සියලුදෙනා එකට වැඩකිරීමට අවශ්‍ය වන ගැටළු විසඳීම දුෂ්කර වියහැකිය. මෙම ගැටලුකාරී දේශපාලන බෙදීමට ප්‍රධාන හේතුවක් වන්නේ, අතීතයේ ආර්ථික දූෂණය සහ බලය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයන්ට එරෙහිව රජය කටයුතු කරන ආකාරයයි. පසුගිය මාසවලදී, වරක් ස්පර්ශ කළ නොහැකි යැයි විශ්වාස කළ දේශපාලනඥයන්ට එරෙහිව අධිකරණයේ බොහෝ දූෂණ නඩු ගොනුකර ඇත.
අතීතයේදී, දූෂණ නඩු බොහෝවිට බැරෑරුම් ලෙස නොසළකන ලද අතර, ඒවා ඉදිරියට නොයන ආකාරයෙන්ම නිර්මාණය කර ඇති බවක් පෙනෙන්නට තිබිණි. එහෙත් මෙවර නඩු නිසි ලෙස හසුරුවනු ලැබේ. බොහෝදෙනකු වැරදිකරුවන් වී දැඩි දඬුවම් ලබා දී ඇත. කලක් බලවත්ව සිටි සහ නීතියට ඉහළින් සිටින බව විශ්වාස කළ අය පවා මෙම අත්දැකීමට මුහුණදී තිබේ. මෙම ක්‍රියාවන් මගින් වගවීම දැන් සැබෑ බවට පැහැදිලි පණිවිඩයක් යවයි. මෙය බොහෝ හිටපු රජයේ නිලධාරීන් කනස්සල්ලට පත්කළ හැකිය. කෙසේවෙතත්, රට ඉදිරියට යෑමට අවශ්‍ය නම්, දූෂණයෙන් සහ බලය අනිසි ලෙස භාවිත කිරීමෙන් මිදිය යුතුය.
චන්ද්‍රිකා සැමරීම
සමාජයේ ගැඹුරු බෙදීම් පෙන්නුම් කළ මෑත කාලීන ප්‍රසිද්ධ සිදුවීමක් වූයේ බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ 20 වැනි සංවත්සරය සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ 80 වැනි උපන්දිනය සැමරීමයි. මෙය හුදෙක් උපන්දින සැමරුමක් පමණක් නොවේ. රටේ නායකයන් ප්‍රධාන ජාතික ගැටළු, විශේෂයෙන් ජනවාර්ගික ගැටුම විසඳීම සඳහා පක්ෂ රේඛා ඉක්මවා එකට වැඩ කිරීමට උත්සාහ කළ කාලයක් ද එය ජනතාවට මතක් කර දුන්නේය. දේශපාලන ප්‍රතිසංස්කරණ හරහා සිවිල් යුද්ධය සාමකාමීව අවසන් කිරීමට හිටපු ජනාධිපතිනි කුමාරතුංගගේ පාලනය ඉතාමත් බැරෑරුම් උත්සාහයක් ගත්තේය. ජාතික ගිවිසුමක් ගොඩනැගීම සඳහා ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ සිට පාර්ලිමේන්තුව දක්වා සියලු මට්ටම්වල ජනතාව එක්කිරීමට ඇය උත්සාහ කළාය.
උත්සවයේ ප්‍රධාන කොටස වූයේ හිටපු ජනාධිපතිනියගේ ජීවිතයේ වැදගත් අවස්ථා, ඇගේ ළමා කාලය, අධ්‍යාපනය සහ පෞද්ගලික අහිමිවීම් සහ ඇය ජනාධිපති වූ ආකාරය දක්වා පෙන්වන වීඩියෝවකි. වීඩියෝවේ ප්‍රධාන පණිවිඩය වූයේ දේශපාලන ප්‍රතිසංස්කරණ තුළින් ජනවාර්ගික ගැටුම සහ යුද්ධය අවසන් කිරීමට ඇය දැරූ උත්සාහයයි. කෙසේවෙතත්, දේශපාලන නායකයන් අතර එකඟතාවක් නොතිබූ නිසා ඇගේ එම උත්සාහයන් සාර්ථක වූයේ නැත.
ඇයගේ ජනාධිපති ධුරයෙන් වසර 20 කට පසු පවත්වන ලද මෙම අවස්ථාවට හිටපු ඉහළ පෙළේ දේශපාලනඥයන්, රාජ්‍යතාන්ත්‍රිකයන්, කලාකරුවන්, ශාස්ත්‍රඥයන් සහ සිවිල් සමාජ සාමාජිකයින් ඇතුළු සිය ගණනක් ප්‍රසිද්ධ පුද්ගලයන් සහභාගී වී සිටිනු දැකගත හැකිවිය. කෙසේවෙතත්, වත්මන් ආණ්ඩුවේ සාමාජිකයන් කිසිවකු ඊට සහභාගී නොවූ අතර එය ඉතා කැපීපෙනිණි. දැන් කිසිදාකටත් වඩා අතුරුදහන් වී ඇත්තේ එක්සත්කමේ සහ සියල්ලන් ඇතුළත් කරගැනීමෙන් නිර්මාණය කළයුතු ආත්මයකි. ඒ වෙනුවට, බෙදීම සහ බැහැර කිරීම පිළිබඳ දැඩි හැඟීමක් පවතී.
කණගාටුදායක ලෙස, යුද්ධය වසර 16 කට පෙර අවසන් වුවද, හිටපු ජනාධිපතිවරිය වෙහෙස මහන්සි වී විසඳාගැනීමට උත්සාහ කළ ජනවාර්ගික ගැටුම තවමත් විසඳී නොමැත. දැන් විවෘත ප්‍රචණ්ඩත්වයක් නොමැති නිසා රටේ බොහෝ අය ගැටලුව පහව ගොස් ඇති බවක් සිතති. එබැවින්, බොහෝදෙනෙක් තවදුරටත් ඒ ගැන සිතන්නේ නැත. එහෙත් ජනවාර්ගික හා ආගමික සුළුතරයන්ට මෙම ගැටලුව තවමත් ඉතා සැබෑවක්ය. ඔවුන් ඒ ගැන විවෘතව කතානොකරන අතර,ඒ ගැන විමසූ විට එය ගැටලුවක් නොවන බව මවාපෑමට පවා ඉඩ තිබේ. එහෙත් තවමත්, ජනවාර්ගික ගැටුම රටේ දේශපාලන ජීවිතයේ සුව නොවූ තුවාලයක් මෙන් පවතී.
එකඟතාවක් අවශ්‍ය වේ
සත්‍යය නම්, අනන්‍යතාව සහ ජනවාර්ගිකත්වය සම්බන්ධ ගැඹුරු ගැටළු විසඳීම එක් පක්ෂයකට හෝ ආණ්ඩුවකට තනිවම හැසිරවිය නොහැකි තරම් විශාල බවය. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සහ වසර හතකට වැඩි කාලයක් මැතිවරණ පවත්වා නොමැති පළාත් සභා ක්‍රමය නැවත ගෙන ඒම වැනි ගැටළු විසඳීම දුෂ්කර වන අතර, ඒ වෙනුවෙන් බොහෝ පාර්ශව වෙතින් එකඟතාවක් අවශ්‍ය වේ. පසුගිය පාලනයන් මෙම ගැටළු මඟහැර ඇත්තේ මහජන සහයෝගය අහිමි වේ යැයි බියෙන්ය. වත්මන් ආණ්ඩුව ඒවා ගැන විවෘතව කතාකරන්නේවත් නැත. එමගින් මෙම ගැටළු කොතරම් දුෂ්කර දැයි පෙන්වයි. මෙම ගැටළු විසඳිය හැක්කේ ආණ්ඩුව සහ විපක්ෂය යන දෙකම එකට වැඩකර පොදු එකඟතාවකට පැමිණියහොත් පමණි.
අතීත අපයෝජනයන් වෙනුවෙන් වගවීම සහතික කිරීමට රජය පැවතගෙන යන අධිෂ්ඨානය මගින්, තමන් සහ විපක්ෂය අතර පරතරය පුළුල් කර ඇති බව පෙන්නුම් කරයි. එමගින් ඉහළම මට්ටම්වල සහභාගීත්වය සඳහා ඇති අවකාශය අවහිර කරයි. අභියෝගය වන්නේ දේශපාලන සංවාදයට දොර වැසීමෙන් තොරව නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරන ඉදිරි මාවතක් සොයාගැනීමයි. ඒ සමඟම, රටේ වඩාත්ම විසඳිය නොහැකි අභියෝග විසඳීමේ මාර්ගය බෙදීම තුළ නොව, දේශපාලන රේඛා හරහා සම්මුතියක් ගොඩනැගීමේ හැකියාව තුළ පවතීන බව අවධරණය කළ යුතුය. මන්ද කිසිදු තනි පක්ෂයකට තනිවම රට සුවකළ නොහැකි බැවිනි.
මෙම තත්වය තුළ, ආණ්ඩුව සහ විපක්ෂය අතර සන්නිවේදනය බිඳවැටීම කනස්සල්ලට කරුණකි. එක් දේශපාලන පක්ෂයකට, නැතහොත් ආණ්ඩුවට පමණක් රටේ ගැටළු විසඳිය නොහැක. අවශ්‍ය වන්නේ දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා පෙන්වූ පරිදි, ප්‍රඥාවන්ත සහ ශක්තිමත් නායකත්වයකි. අසාධාරණ පාලනයකට යටත් නොවී ඔහු වසර 27 ක් සිරගතව සිටි අතර, ඔහු ජනාධිපති වූ විට, ඔහු රට නිවැරදි දිශාවට ගෙන ගොස් එක් වාරයකින් පසු ඉල්ලා අස්විය. ශ්‍රී ලංකාවට එවැනි නායකත්වයක් අවශ්‍ය වේ. එය තමන්ගේම තත්වයට ගැලපෙන සහ පාලන ක්‍රියාවලියට සියලුදෙනා ඇතුළත් කරන ආකාරයේ එකක් වියයුතුය.
- ආචාර්ය ජෙහාන් පෙරේරා