ඔටිසම් දරුවන් සඳහා පිළිමතලාවේ ආරම්භ කළ ලංකාවේ පළමු නිවාස යෝජනා ක්‍රමය අතර මඟ නැවතිලා – මොහොමඩ් ආසික්‌

ශ්‍රී ලංකාවේ  සිටින ඔටිසම් තත්වයේ දරුවන් වෙනුවෙන් මෙයට වසර කිහිපයකට පෙර  ඉදි කිරීමට  යෝජනා වී ඇති ඔටිසම් තත්වයේ දරුවන් සඳහා වන ලංකාවේ පළමුවන  නිවාස යෝජනා ක්‍රමය මුදල් නොමැති කමින් අතර මඟ නැවතී ගොස් ඇති බව ශ්‍රී ලංකා ඔටිසම් දරුවන්ගේ දෙමාපිය සංගමය පවසයි.

එම සංගමයේ සභාපති කේ.පී.ප්‍රෙමසිරි පෙරේරා මහතා සඳහන් කරන්නේ මහනුවර පිළිමතලාව අරඹේගම  බටහිර ග්‍රාම නිලධාරි වසමේ   ඔටිසම් දරුවන් සඳහා නිවාස යෝජනා ක්‍රමයක්  ඉදි කිරීම සඳහා ඉඩම් මෙයට වසර කිහිපයකට පෙර  මිළ දී ගෙන තිබුණද  මෙම නිවාස ඉදි කර ගැනීම සඳහා අවශ්‍ය මුදල් නොමැති වීම නිසා මෙතෙක් මෙම නිවාස ඉදි කර ගැනීමට නොහැකි වී ඇති බවත් ඒ මහතා කීය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ  ශ්‍රී ලංකා ඔටිසම් දරුවන්ගේ දෙමාපියන්ගේ සංගමයේ සභාපති කේ.පී. ප්‍රේමසිරි පෙරේරා මහතා මෙසේ ද කිය.

ඔටිසම් කියන්නේ ආබාධිත තත්වයක් හෝ මානසික රෝගී තත්වයක් නෙවෙයි .ඒක විශේෂ තත්වයක්. මේ දරුවන් වෙනම දරුවන් පිරිසක්. ඒ නිසා අපි මේ දරුවන් වෙනුවෙන් සංගමයක් පිහිටා ගෙන ඔවුන් වෙනුවෙන් නිවාස යෝජනා ක්‍රමයත් සඳහා ඉඩමක් ලබා ගැනීමට  පුවත් පත් දැන්වීමක පළ කරල මෙම ඉඩම මිළ දී ගත්තා. දැනට  දරුවන් 20 ක ගේ පවුල් සඳහා නිවාස ඉදි කරීමට මෙම භූමියෙන් ඉඩම් ලබා දීල තියෙනවා. තවත් කිහිප දෙනෙකුට ලබා දීමේ හැකියාව තියෙනවා .නමුත් නිවාස ඉදි කරීම සඳහා අවශ්‍ය මුදල් නොලැබීම නිසා   නිවාස ඉදි කර ගැනීමට නොහැකි වී ඇති  අතර මගේ නිවස පමණක් කුඩා මට්ටමින්  ඉදි කර ගෙන තියෙනවා. මම මගේ දරුවත් සමඟ එම නිවසේ පදිංචි වෙලා ඉන්නවා . මෙම භූමියේ අපි ඔටිසම් දරුවන් සඳහා පර්යේෂණ මධ්‍යස්ථානයක් සඳහා ‍ ගොඩනැගිල්ලකුත් හදල තියෙනවා. මෙම මධ්‍යස්ථානය තුල මෙම දරුවන්ට අවශ්‍ය විශේෂ  අධ්‍යාපන, ප්‍රතිකාර ස්වයං රැකියා ආදිය ලබා දෙන්න පුළුවන්. නමුත් ඒ සදහා මේ දරුවන් පිරිසක් එක් ස්ථානයක ස්ථානගත වෙන්න ඕන. ඒ සඳහා තමයි මේ නිවාස යෝජනා ක්‍රමය යෝජනා කරල තියෙන්නේ අපි ඉල්ලන්නේ ඉතා ඉක්මනින් රජය මැදිහත් වෙලා මෙම නිවාස යෝජනා ක්‍රමය සකස් කර දෙන ලෙසයි යැයිද කීය.

මෙහිදී එක් දරුවකුට පර්චස් පහක ඉඩමක් ලබා දී බද්ධ නිවාස ක්‍රමයට නිවාස දෙකක් බද්ධ කර ඉදිකිරීමට  සැලසුම් සකස් කර ඇති බවත් ඒ මහතා කීය.

පසුගිය රජයන් කිහිපලයකින්ම  මෙම නිවාස ඉදි කර දෙන ලෙස ඉල්ලිම කළද ඉටු නොවු බවත් වත්මන් රජය වත් මේ සඳහා අවධානය යොමු කරනු ඇති බව විශ්වාස කරන බවද ඒ මහතා තව දුරටත් කීය.

මෙහිදී අප සමඟ අදහස් දැක්වූ   ඔටිසම් තත්වයේ දරුවකුගේ මවක වන ලලිත් පත්මිණි මහත්මිය මෙසේ කීවාය.

“ මේ දරුවන්ව දෙමාපියන් ඉන්නකම් හොඳින් බලා ගන්න පුළුවන්. නමුත්  දෙමාපියන් හැමදාම ජීවත් වෙන්නේ නෑ දැනට අවුරුදු 25 ක වගේ වයස්වල ඉන්න දරුවන්ගේ දෙමාපියන් මේ වන විටත් වයස්ගත වෙලා. ඔවුන්ගෙන් පස්සේ මේ දරුවන් බලා ගන්න කෙනෙක් නෑ. ඒ නිසා අපි ඉල්ලන්නේ රජය මැදිහත් වෙලා මේ දරුවන්  රැක බලා ගන්න පුළුවන් වැඩපිළිවෙළක් සකස් කරන්න ඕන කියලයි. මේ නිවාස යෝජනා ක්‍රමය ඉදි කරල  මෙවන් තත්වයේ දරුවන් පිරිසක් එක් ස්ථානයක පදිංචි කරවීම මගින් ඔවුන්ගේ ප්‍රතිකාර කටයුතු එක් ස්ථානයක කිරීමේ පහසුව ලැබෙනවා“

 තවත් මවක වන ඩබ්ලිව්.ජී. ඉන්ද්‍රාවතී මහත්මිය අප සමඟ සඳහන් කළේ,

  මෙවන් තත්වයේ ඉන්න දරුවන් රැක බලා ගැනීම තනිව සිට කිරීම ඉතාම අපහසු බවත් පිරිසක් වශයෙන් එක් ස්ථානයක පදිංචි වීම මගින් ඔවුන් සාමූහිකව රැක බලා ගැනීමේ හැකියාව පවතින බවයි.  ඒ නිසා අපි ඉල්ලන්නේ  ඉතා ඉක්මනින් මෙම නිවාස ඉදි කර දෙන ලෙසයි.මෙම දරුවන් එක් ස්ථානයක ස්ථානගත කිරීම මගින් ඔවුන්ගේ ප්‍රතිකාර කටයුතුද පහසුවෙන් සිදු කර ගත හැකි බවත් ඇය සඳහන් කළාය. මේ වන විට රැකියාවක් කිරීමට පවා විශේෂයෙන් ගැහැණු දරුවන් තනි කර යාමට නොහැකි වී ඇති බවත් මේ නිසා අනෙකුත් දරුවන් රැක ගැනීමත්  ගැටවවක් වී ඇති බවද් ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකා ඔටිසම් දරුවන්ගේ දෙමාපිය සංගමයේ සභාපති කේ.පි. ප්‍රේමසිරි පෙරේරා මහතා තව දුරටත් සඳහන් කළේ මෙම දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පළමු වරට ආරම්භ කර ඇති මෙම නිවාස යෝජනා ක්‍රමය රජය මැදිහත් වී ප්‍රමාදයකින් තොරව ඉතා ඉක්මනින් ඉදි කර දෙන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *