ධම්මදින්නා භික්ෂුණියට ‘භික්ෂුණි’ නාමය යටතේ හැඳුනුම්පතක් දෙන්න නියෝග

රංගිරි දඹුල්ල සංඝ සභාවට සම්බන්ධ භික්ෂුණියක් ලෙස කටයුතු කරන වැලිමඩ ධම්මදින්නා භික්‍ෂුණියට ‘භික්‍ෂුණී’ නාමය යටතේ හැඳුනුම්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (ජූනි 17) තීන්දු කළේ ය.

ඒ අනුව, වැලිමඩ ධම්මදින්නා නමැති භික්‍ෂුණියට ‘භික්‍ෂුණී’ නාමය යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කළේ ය.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම ඊයේ දින කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙලෙස තීන්දුව ප්‍රකාශයට පත් විය.

රංගිරි දඹුල්ල සංඝ සභාව රජය විසින් අනුමත නොකිරීම සහ භික්ෂුණීන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ විෂය පථයට අදාළ නොවීම යන හේතු මත පෙත් සකාර්යගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා විසින් මීට පෙර නඩු විභාගය අතරතුරදී අධිකරණයට කරන ලද ප්‍රකාශය කිසිසේත් පිළිගත නොහැකි බව විනිසුරු මඩුල්ල සිය සින්දුව මඟින් සඳහන් කළේය.

එහිදී පෙත්සම්කාරිය භික්ෂුවක් වූවා නම් ඇයට මෙවැනි නීතිමය ගැටලූසහගත තත්ත්වයක් ඇති නොවනු ඇති බවද කෙසේ නමුත් ඇය කාන්තාවක් වීම නිසා මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වීම හා එය නීති ඉදිරියේ වෙනස් කොට සැලකීමක් වනු ඇති බව ද විනිසුරු මඬුල්ල සිය තීන්දුව මගින් වැඩිදුරටත් සඳහන් කළේ ය.

වැලිමඩ ධම්මදින්නා නමැති භික්ෂුණිය සහ රන්ගිරි දඹුල්ල සංඝ සභාවේ මහ නායක ඉනාමලුවේ සුමංගල හිමියන් විසින් මෙම පෙත්සම් ගොනුකර තිබූ අතර රංගිරි දඹුල්ල සංඝ සභාව යටතේ 1998 වසරේ පටන් භික්ෂුණි ශාසනයක් ක්‍රියාත්මක වන බවත් තමන් එම සංඝ සභාව යටතේ උපසම්පන්නභාවය ලැබූ භික්ෂුණියක බව පෙත්සම්කරුවන් විසින් සිය පෙත්සමේ සඳහන් කරනු ලැබ තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *