විනාශකාරී පරිසර ව්‍යාපෘතිවලට එරෙහිව මන්නාරම ජනතාව වීදි බසිති!

මන්නාරමේ සිදුකරමින් පවතින නීතිවිරෝධී වැලි ගොඩදැමීම, ඛනිජ නිස්සාරණය සහ විශාල සුළං බලාගාර දිවයිනේ සියුම් ජෛව විවිධත්වයට අනතුරක් ලෙස පෙන්වා දෙයි. බොහෝ දෙනෙක් මෙම ව්‍යාපෘති දකින්නේ සංවර්ධනයක් ලෙස නොව, යුද්ධයට වඩා විශාල හානියක් සිදු කරන ව්‍යාපෘති ලෙස ය.

මන්නාරම් දූපතේ බිඳෙනසුලු පරිසර පද්ධතියට තර්ජනයක් වන අඛණ්ඩ පාරිසරික විනාශකාරී සංවර්ධන ව්‍යාපෘති රැල්ලකට එරෙහිව, මන්නාරම දූපතේ ජීවත් වන 2,000 කට අධික පිරිසක් විසින් පසුගිය සතියේ දී දැඩි විරෝධතාව දැක්වූහ.

පසුගිය බදාදා උදෑසන සිට දහවල් දක්වා පැවති දැවැන්ත රැලිය, යුරෝපා සංගමයේ අරමුදල් සහිත ව්‍යාපෘතියක් යටතේ 08වන ප්‍රචාරක ක්‍රියාකාරකමේ කොටසක් ලෙස මන්නාරම පුරවැසි කමිටුව (MCC) විසින් සංවිධානය කරන ලදී.

තරුණ කණ්ඩායම්, රාජ්‍ය නොවන සංවිධාන, කාන්තා සාමූහික, ආගමික නායකයින්, ධීවරයින් සහ ගොවීන් ඇතුළු විවිධ පසුබිම්වල පුද්ගලයින් මෙම රැලියට සහභාගී වූහ.

මන්නාරම තුළ සිදුකෙරෙන නීති විරෝධී වැලි කැණීම්, ඉල්මනයිට් නිස්සාරණ ව්‍යාපෘති සහ මහා පරිමාණ සුළං බලාගාර වැනි ක්‍රියාකාරකම් වලට විරෝධතාකරුවන් විරුද්ධ වන අතර, ඒවා දිවයිනේ සියුම් ජෛව විවිධත්වයට, දේශීය ජීවනෝපායන්ට සහ සංස්කෘතික උරුමයන්ට තර්ජනයක් වනු ඇතැයි ක්‍රියාකාරීන් පැවසූහ.

         

මෙම ව්‍යාපෘති මගින් සිදුවිය හැකි පාරිසරික විනාශය සහ ජීවනෝපායන් අහිමි වීම පිළිබඳව බරපතල කනස්සල්ලක් මතු කරන විරෝධතාකරුවන් පැවසුවේ, මෙවැනි සංවර්ධන ව්‍යාපෘති දියත්කිරීම, යුද්ධය අතරතුර සිදු වූ හානියට වඩා විශාල හානියක් බවයි.

“රටකට සැළැසුම් කරන සෑම සංවර්ධන ව්‍යාපෘතියක්ම ක්‍රියාත්මක කිරීමට පෙර රජයන් හොඳින් අධ්‍යයනය කළ යුතු අතර, එම ව්‍යාපෘතිය ජනතාවට සහ අවට පරිසරයට සුදුසු දැයි තක්සේරු කළ යුතුය.”

මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම යුද්ධයෙන් අපට සිදු වූ හානියට වඩා වැඩි හානියක් සිදු කරයි. ඒ නිසා අපි විරුද්ධ වෙනවා.” යැයි ඇතැම් විරෝධතාකරුවන් අනතුරු ඇඟවීය.

END/MMP/18062025

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed