දුරගමන් බස්රථ විශේෂ පරීක්ෂාවට – නාගේන්ද්‍රන් කල්පනා

 

දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක්කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලු ම පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, දුරගමන් සේවා බස් රථ සේවාවන් මහා මාර්ගයේ ධාවනය වීමේදී රිය අනතුරට ලක් වීමේ අවස්ථා දිනෙන් දින ඉහළ ගොස් ඇති බවට නිරීක්ෂණය වී ඇති බව ය.

එබැවින් විශේෂයෙන් ම රාත්‍රී කාලයේදී දුරගමන් බස් රථ විශේෂ පරීක්ෂාවට ලක් කර බීමත්ව රිය ධාවනය, මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය, අපරීක්ෂාකරී හා අන්තරාදායක ලෙස රිය ධාවනය යන රථ වාහන වැරදි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස සියලු ම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් වෙත වැඩබලන පොලිස්පති විසින් උපදෙස් ලබා දී ඇත.

මේ අනුව, පොලිස් කොට්ඨාසවලට අයත් තෝරාගත් සුදුසු ස්ථාන කිහිපයක රාත්‍රී කාලයේ නිලධාරීන් කණ්ඩායම් යොදවා මහා මාර්ගයේ ධාවනය වන වාහන සහ විශේෂයෙන් ම දුරගමන් සේවා බස් රථ නිරන්තරයෙන්ම විශේෂ පරීක්ෂාවට ලක් කිරීමටත් දන්වා තිබේ.

තවද යතුරුපැදි සංචාර ඒකකවල නිලධාරීන් මගින් මහා මාර්ගයේ යතුරුපැදි ධාවනය කරමින් ඉහත පරිදි බස් රථ පරීක්ෂාවට ලක් කර නීතිය ක්‍රියාත්මක කිරීමට වැඩිදුරට ත් උපදෙස් ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *