සිරි දළඳා දැක්මට  ලක්ෂ ගණනක ජනකායක් ඊයේ දිනයේත් මහනුවරට – මොහොමඩ් ආසික්

වසර 16 කට පසුව පැවැත්වෙන ඓතිහාසික   සිරි දළඳා දැක්මට එක්වී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශීර්වාද ලබා ගැනීම සඳහා   ඊයේ 21ද   දිනයේදීත් ලක්ෂ ගණනක සැදැහැවතුන් පිරිසක් මහනුවරට පැමිණ සිටියහ.

සිරි දළඳා දැක්මේ සිව් වන දිනය වන  21 වනදා දිනයේ දිවයිනේ නන්දෙසින් පැමිණ සිටි මෙම පිරිස අතර කුඩා දරුවන් වයෝවෘද්ධ පිරිස් මෙන්ම ආබාධ  සහිත පිරිස්ද වූහ. ආබාධ  සහිත පිරිස් සඳහා  වෙනම ප්‍රවේශ මාර්ගයක් සකස් කර තිබෙනු දක්නට ලැබිණ.  අද දිනයේ මහනුවරට පැමිණ සිටි අති විශාල ජන ගඟ නිසා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා වන පෝලිම් තුන අද වන විට කිලෝමීටර් හතරක්   පමණ දක්වාම දිගු වී තිබෙනු දක්නට ලැබිණ.  ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා දිනෙන්  දින වැඩි වන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්  හේතුවෙන් මෙතෙක්  ඒ සඳහා වෙන් කර තිබූ කාල සීමාව 21 වනදා  සිට පැය එක හමාරකින් දීර්ග කිරිමටත් පියවර ගෙන තිබේ. අස්ගිරි මල්වතු පාර්ශවයන්හි මහානායක මහ නාහිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් දියවඩනනිලමේ ප්‍රදීප් නිලංක දෑල මහතාගේ සහ රාජ්‍ය නිලධාරින්ගේ මැදිහත් වීම මත මෙලෙස කාලය දීර්ග කිරීම සිදු කර තිබේ.

20 වනදා දක්වා  දහවල් 12.30 දිට පවස්වරු 5.00 දක්වා ශ්‍රී දන්ත ධාතූන් වන්දනා කර ගැනීම සඳහා බැතිමතුන්ට අවස්ථාව ලැබී තිබුණත් 21 වනදා සිට එය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා දීර්ග කර තිබේ.

මහනුවර නගරයට එක් රැස්වන ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ආහාර අවශ්‍යතාවයන් සැපිරීම අරමුණු කර ගෙන නගරයේ මෙම සීමාව තුල දන්සල් 820 ක් ලියාපදිංචි වී  ඇති බව මහනුවර  මහ නගර සභාවේ ප්‍රධාන  නාගරික වෛද්‍ය  නිලධාරි පසන් ජයසිංහ මහතා කියයි.

මෙයට අමතරව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික  උඩවත්ත මහතාගේ උපදෙස් මත  දිස්ත්‍රික්කයේ සියළු  ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සහායෙන් ආහාර පාර්සල් සකස් කර බෙදා දීමත්  ඊයේ රාත්‍රියේ සිට සිදු විය.  මේ සඳහා ආහාර පිසීම යුද හමුදාව විසින් සිදු කරනු ලබයි.

 අද දිනයේදීද ආබාධ සහිත පුද්ගලයින් විශාල පිරිසක්  ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගැනීම සඳහා පැමිණ සිටි අතර ඔවුන් සඳහා විශේෂ ප්‍රවේශ ක්‍රමවේදයක්ද  සකස් කර තිබිණ. ඇවිදීමට අපහසු අය වෙනුවෙන් ඇතුලත වාහන පහසුකම්ද සලසා තිබිණ.

 බලධාරින් ප්‍රකාශ කරන ආකාරයට  21 වන දිනයේ  සිරි දළඳා දැක්ම අවසන් වන විට ලක්ෂ  පහකට වැඩි පිරිසක් එය වැඳ පුදා ගනු ඇති බව සඳහන්  වෙයි. 20 වනදා අවසන් වන විට ලක්ෂ හතරකට ආසන්න පිරිසක්  ධාතූන් වහන්සේ වැද පුදා ගෙන තිබූ බව සඳහන් විය.

පසුගිය දින හතර දෙස බැලීමේදී මහනුවර නගරයට පැමි‍ණෙන සැදැහැවතුන්ගේ සංඛ්‍යාව  ඉදිරි දිනවලිදී  විශාල වශයෙන් ඉහළ යාමට ඉඩ ඇති බවත්  නිරික්ෂණය වෙයි.

2025 04 21 ආසික්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *