අයවැය- රාජ්‍ය පළාත් පාලන , රජිත් කීර්ති තෙන්නකෝන්

‘විදේශ අමාත්‍යාංශයට අයත් නොවන සියල්ල ස්වදේශ අමාත්‍යාංශයට අයත්’ යැයි රාජ්‍ය සේවයේ තිබේ. අරුමය නම්, දැන් ‘රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නාම පුවරුවෙන් ‘ස්වදේශ කටයුතු’ හලා තිබීමයි.  අය වැයෙන් පසුව හෝ නැවත ‘ස්වදේශ කටයුතු’ කෑල්ල මේ අමාත්‍යාංශයට ඇතුළු කර ගත යුතුය.  අමාත්‍යාංශයට ඇති ලොකුම ප්‍රශ්නය එහි විශාලත්වයයි. අවුල්ම වැඩේ රටේ සියල්ල පාලනය කරන ‘ස්වදේශ කටයුතු’ දනහිසෙන් පහලටම හලා තිබීමයි. අමාත්‍යාංශය මුලින්ම තමන්ට ලැබෙන ලිපියකට සති දෙකක් තුල පිළිතුරක් යැවීමට ක්‍රමවේදයක් සකස් කර ගත යුතුය.

 

රාජ්‍ය පරිපාලන පළාත් සභා අමාත්‍යාංශ විෂය පථයට අදාල අභිලාභයන් 14  ක් මෙසේය.  

 

1.       රාජ්‍ය සේවක සංඛ්‍යාව වැඩිවීම – රාජ්‍ය සේවයට අනවශ්‍ය සේවක සංඛ්‍යාවක් බඳවා ගැනීමට සිදුවීම, සේවා අවශ්‍යතාවයක් නොමැතිව උපාධිධාරීන්ට බඳවා ගැනීම හේතුවෙන් සේවක සංඛ්‍යා පිරමීඩය විකෘති වී ඇත.  දැන් එය ‘සිරස’ කුඩා, බඩ වංගෙඩියක් තරම් වී, පහල අලි කකුලක් බවට පත්ව ඇත. රාජ්‍ය සේවයේ ප්‍රමාණය සීමා කළ නොහැකි නම් ඉන්නා සේවකයින්ගෙන් වැඩක් ගත යුතුය.

 

2.       ‘අවශ්‍ය ස්ථානයන්ට සේවක සංඛ්‍යා නොලැබීම’ — ජනගහනය සහ සමාජීය අවශ්‍යතාවයන් අනුව සේවක සංඛ්‍යාව පුළුල් විය යුතු දෙපාර්තමේන්තු/අංශ ගණනාවකට ප්‍රමාණවත් කාර්ය මණ්ඩල නැත.  රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, පළාත් පාලන පුළුල්වීම සිදුව ඇතත් අවශ්‍ය සේවක සංඛ්‍යා ලැබී නැත. සේවකයින් අවශ්‍ය තැන්වලට සේවකයින් ලබා නොදීම ජාතික ප්‍රශ්නයකි. අවුල් රැසකට හේතුවකි.

 

3.       රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු  ඒකාබද්ධ සේවා, කලමනාකරණ සේවා ඇතුලු බහුතරයකට අංග සම්පූර්ණ දත්ත පද්ධතියක් නැත.  රාජ්‍ය පරිපාලනයේ මුලික අවුල යාවත්කාලීන දත්ත හා තොරතුරු නොමැතිවීමය.  නිලධාරි ආධිපත්‍ය රඳවා ගැනීමට දත්ත පද්ධති ස්ථාපනය නොකර සිටීමයි.

 

4.       රාජ්‍ය සේවයේ ස්ථාන මාරුවීම් මේ වන විට එකම අවුල් ජාලාවක් බවට පත්ව ඇත. දුක කියන්න තැනක් නැත. මාස ගණනාවකින් බොහෝ මාරුවීම් ක්‍රියාත්මක වන්නේ නැත.

 

5.       වැටුප් වැඩි කිරීම විසින් සිදු කර ඇති අවුල රාජ්‍ය සේවකයින්ට ඇති ලොකුම ගැටළුවයි. සන්තාපය හා විස්සෝපයයි.  වෛද්‍ය, හෙද සහ ගුරු ඇතුළු සේවාවන් හි ආරවුල ඉදිරි වසර පුරා රාජ්‍ය මුහුණ දෙන දැවැන්තම අභියෝගය වන්නේය.

 

 

6.       අද වන විට පළාත් සභා යාන්ත්‍රණය මුළුමනින්ම බිඳ වැටී ඇත.  ප්‍රධාන අමාත්‍ය සහ කැබිනට් මණ්ඩලයක් නොමැති තැන සියළු වගකීම් ආණ්ඩුකාරවරයා වෙත පැවරී ඇත. නමුත්, පළාත් සභාව ක්‍රියතාමක වන්නේ පලාතේ මන්ත්‍රීවරුන් හරහා මිස ජනාධිපතිවරයා (විධායකයේ) නියෝජිතයා ලෙසින් නොවේ.  ආණ්ඩුකාරවරයා සහ ජනාධිපති සතු බලය අද ගොනුවී ඇත්තේ ඉදිරි පලාත් සභාවට තරඟ කරන්නට බලා සිටින ‘වෙන්ඩ අපේක්ෂකයින්’ අතය.  පළාත් 5 කම දැන් ‘මහජන දින’ පවත්වන්නේ නැත. දැන් සැබවින්ම පළාත් සභා මෙහෙයවන්නේ කවුද?   එක පලාතක තීරණ ගන්නේ ඇමතිවරයෙකි. තවත් තැනක, ගුරුවරුන් දෙදෙනෙකි.  තවත් පලාතට ‘ලිපිකරුවෙකි’. තවත් තැනක ‘ප්‍රධාන ලේකම්’ ය. එක්කෝ ආණ්ඩුකාරවරුන් පළාත සභාවේ කටයුතු පාලනය කළ යුතුය. නැතිනම්, ‘ප්‍රධාන ලේකම්’ වෙතින් එය පාලනය විය යුතුය.  මේ දෙකම නැති — එළොවටත් නැති, මෙලොවට ත් නැති තැනින් පළාත් සභා මිදිය යුතුය.

 

7.       පළාත් පාලනය අමාත්‍යාංශය යටතේ ඇති ජනතාවගේ එදිනෙදා  ජීවිතයට බලපාන විෂය පථයයි.  පලාත් සභා අක්‍රීයවීම හේතුවෙන් වැඩිම පීඩාවට පත්ව ඇත්තේ ‘පලාත් පාලනය’ යි.   ‘පලාත් පාලන පනතේ විෂය භාර අමාත්‍යවරයා’ ලෙස අද කටයුතු කරන්නේ පලාත් ආණ්ඩුකාරවරුන් ය.   අවසනාවකට නියෝග හා උපදෙස් ලැබෙන්නේ ‘දිස්ත්‍රික්කයේ’ බලවත්ම මන්ත්‍රීවරයාගෙනි!

 

 

8.       දිස්ත්‍රික්ක සංවර්ධන කමිටු ‘ආධුනික දේශපාලනයන්ගේ පුහුණු කඳවුරු’ බවට පත්ව ඇත. මහජන මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල් ලැබෙන්නේ නැත. බහුතරයක් තැන්වල ‘මහජන නියෝජිතයා කවුදැයි ඡන්දදායකයා දන්නේ නැත. දිස්ත්‍රික්ක කමිටුවල තීරණ ගැනීම සිදු නොවීම රාජ්‍ය පරිපාලනයේ සාමුහික තීන්දු ගැනීමේ ක්‍රියාවලිය බලවත් අර්බුදයකට ලක් කර ඇත. දිස්ත්‍රික් පරිපාලනය සිදුවිය හැකි ලොකුම ව්‍යසනයයි.

 

9.       2025 ජනවාරි ‘Reviewing and simplifying the rules and regulations pertaining to the public service to suit of Government development policy requirements’ යයි කමිටුවක් පත් කර ඇත.  කලකට ඉස්සර ලලිත් වීරතුංග ද මේ වැඩේ එලෙසම කර ඇත. එකම සිතියම දෙතුන් වර ඇඳීම රාජ්‍ය පරිපාලනයේ ලොකුම ගැටළුවයි. සැලසුම් මිස ක්‍රියාත්මකවීම් නොමැතිකම ඛෙදවාචකයයි.  

 

10.   කොට්ඨාශ සීමා නිර්ණය පොලිස්, ප්‍රාදේශී ලේකම්, පළාත් පාලන, කෘෂිකර්ම, වන සංරක්ෂණ, වන ජීවි ආදී පරිපාලන ඒකක නිර්මාණය රාජ්‍ය සේවයේ ඇති දැවැන්තම ගැටළුවයි.  රාජ්‍ය පරිපාලනය අවුල් ජාලාවක් බවට පත්ව ඇත්තේ ‘පලාත් පාලන අමාත්‍යවරයාට’ ගැසට් ගසා පරිපාලන ඒකක පිහිටුවීම නිසා ඇති කර ගත් ඉක්මනින් විසඳගත යුතු ජාතික ප්‍රශ්නයයයි.  

 

11.   රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ මුලික වගකීමක පැවරෙන්නේ රාජ්‍ය පරිපාලනයට ය. GovPay කියලා නියමු ව්‍යාපෘතියක් පටන් ගෙන තිබේ. අද, එහි කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ චක්‍රලේඛනය තවමත් නිකුත් කර නැත. ඩිජිටල් ක්‍රමයට ආණ්ඩුවේ කාර්යාලය බහුතරයක තවමත් මුදල් ගෙවීම සිදු කළ නොහැකිය.  අනෙක් අතට, ලේඛන දත්ත සහ තොරතුරු ඩිජිටල් ක්‍රමයට සැකසීමට ඉතා විශාල පිරිවැයක් අවශ්‍යවේ.  එම පිරිවැය සහ උපකරණ ලබාදීම රාජ්‍ය අනාගතය වෙනුවෙන් සිදු කරන ආයෝජනයකි.

 

 

12.   විශ්‍රාමිකයින් ගේ වැටුප් විෂමතා විසඳීම අත්‍යවශ්‍යය. ඔවුන් තවදුරටත් රැවටීම සුදුසු නැත.

 

13.   රාජ්‍ය සේවයේ දීප ව්‍යාප්ත සේවාවන්ට සැලසුමක් සහිතව බඳවා ගැනීම් කළ යුතුය. නැත්නම් තව අටක් දහයක් යන විට පරිපාලකයින්, සැලසුම් නිලධාරීන්, ගණකාධිකාරීවරු, ඉංජිනේරුවන් විදේශයින්ගෙන් ආනයනනය කිරීමට සිදුවනු ඇත.

 

 

14.   කොළඹ මිල කළ නොහැකි නිල නිවාස කිසිදු පාවිච්චියකින් තොරව විනාශ වෙමින් ඇත. ලොරිස් පටුමග මහල් නිවාස ‘නියෝජ්‍ය ඇමතිවරුන්ට’ ලබා දෙන්නට වෙන්කර ඇත. දැන්වත් මේවා පරිහරණයට ගෙන මීයන්ට, උගුඩුවන්ට, ලේනන්ට රජදහන්වීමට ඉඩ නොතබා රැකගත යුතුය.

 

රාජ්‍ය පරිපාලනය ගැන මිනිසුන් අහන්නේ එකම ප්‍රශ්නයකි.  ‘ඔබලා තවමත් අපිට බොරු කියන්නේ ඇයි?’  — සැබවින්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ උඩ සිට පහලට සෑම ස්ථරයකම සැබෑ ප්‍රශ්නය ද එයයි.  දැන්වත් බොරු කියන එක නවතා දැමීය යුතුය!

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed