වතු කම්කරු වැටුප රුපියල් 2000 දක්වා ඉහළ නැංවීම පිළිබදව රජයේ අවධානය යොමු කිරීමට පියවර – නදීක දයා බණ්ඩාර

වර

වතු කම්කරු දෛනික වැටුප රුපියල් දෙදහසක් දක්වා ඉහළ නැංවීම කෙරෙහි රජයේ අවධානය යොමු කොට ඇතැයි ලංකා කම්කරු රතු කොඩි සංගමය පවසයි.

ඉදිරි අය වැයේදී මෙම වැටුප් ඉහළ නැංවීම සිදු කිරීම සම්බන්ධයෙන් අදාල ආයතනවල අවධානය යොමු කරන බව එම සංගමයේ උපදේශිකා මේනකා කන්දසාමි මහත්මිය පවසයි.

වතු කම්කරු වැටුප් ඉහළ නැංවීම සහ කම්කරු වෘත්තීය තත්ත්වය ඉහළ නැංවීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කිරීම නිමිත්තෙන් අද (12) මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකදී උපදේශිකා කන්දසාමී මහත්මිය මෙම අදහස් පළ කළාය.

රජය, වතු හාම්පතුන් සහ වතු කම්කරුවන් අතර වැටුප් එකඟතවයක් ඇති කිරීම සඳහා නිර්දේශීය සාමුහික ගිවිසුම අනුව දෛනික වැටුප රුපියල් 1350ක් විය යුතු වුවත් බොහෝ වතු සමාගම් එම මුදල කම්කරුවන්  සඳහා ලබා නොදෙන බව ඇය කීවාය. එමෙන්ම සේවකයන් වත්තක තේ දළු නෙළීම ඇතුලුව සේවය කළ යුතු දින ගණන 20ක් විය යුතු නමුත් වතු හාම්පුතුන් ප්‍රමාණවත් දින ගණනක සේවය ලබා නොදීම නිසා ද කම්කරු ආදායම බෙහෙවින් පහළ වැටී ඇතැයි ද ඇය ප්‍රකාශ කළාය.

කම්කරු පවුලක පස් දෙනෙකුට අධික සාමාජික සාමාජිකාවන් ප්‍රමාණයක් ජීවත් වන බැවින් රුපියල් 1350ක දෛනික වැටුපක් ලබා ගත්ත ද එය ප්‍රමාණවත් නොමැති නිසා වැටුප අවම වශයෙන් රුපියල් 2000ක් විය යුතු යැයි ඇය කීවාය.

මේ පිළිබදව අවධානය යොමු කිරීම සඳහා කම්කරු අමාත්‍යංශය සමඟ සාකච්ඡා කිරීමට අවස්ථා ලබා දෙන ලෙස ඉල්ලා සිටි නමුත් මේ සඳහා ප්‍රමාණවත් කාලයක් නොලැබුණූ බවත් කම්කරු වේතන සම්බන්ධ පඩි පාලක සභාව රැස් කිරීමක් හෝ සිදුවී නොමැති බවත් උපදේශිකවරිය සඳහන් කළාය.

වතු සමාගම් අධික ලාභ උපයන නමුත් වැටුප් ඉහළ නැංවීම පිළිබද සාකච්ඡාවලදී වතු අලාභ ලබන බව නිරන්තරයෙන් පවසන බවත් රජයන් පවා වතු අලාභ ලබන බව කරන ප්‍රකාශයන් පිළිගැනීම බෙහෙවින් කණගාටුදායක යැයි ද කීවාය.

නමුත් නව රජය වතු කම්කරුවන් සම්බන්ධයෙන් සුභදායක අංශයකින් බලනු ඇති බවත් වතු වැටුප් ඉහළ නැංවීමට කටයුතු කරන බව තදින්ම විශ්වාස කරන බව ලංකා කම්කරු රතු කොඩි සංගමයේ උපදේශිකා මේනකා කන්දසාමී මහත්මිය තව දුරටත් සඳහන් කළාය.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ආනන්දි ශිවසුබ්‍රමනියම් මහත්මිය  ද මෙහිදී අදහස් දැක්වූවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *