කූට ලේඛණ ඉදිරිපත් කර, ඊ. පී. එෆ්. අරමුදලින් කෝටි 100 ක් ඇදලා -චන්දන ජයවීර හැටන් (වීඩියෝ ඇත )

 

සේවක අර්ථසාධක අරමුදලින් ලබාදෙන, 30% පූර්ව ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ව්‍යජ ලියකියවිලි ඉදිරිපත් කර, තලවකැලේ නව විවිධ සේවා සමුපකාර සමිතියට අනුබද්ධ, ග්‍රමිය බැංකු 11 ක් විසින්, වතු කම්කරුවන් 5000 කට වැඩි පිරිසකගෙන්, රුපියල් කෝටි 100 කට අධික මුදලක්, වංචා කර ඇති බව, වතු කම්කරු මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්, මාක්ස් ප්‍රභාකර් පවසයි. ඒ බව ඔවුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට, අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවට සහ විගණකාධිපති දෙපර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ, තලවකැලේ සමුපකාර බල ප්‍රදේශයේ හා ඊට පරිබාහිර වතු කම්කරුවන්, තැරැව්කරුවන් මගින් ගෙන්වා ගන්නා, ග්‍රාමීය බැංකු නිලධාරින්, ඔවුන්ට  බැංකු ගිණුමක් ආරම්භ කර, සුළු ණය මුදලක් නිකුත් කර ඇති බවත්. පසුව, සේවක අර්ථසාධක අරමුදලේ 30% පූර්ව ප්‍රතිලාභ මුදල ලබාගැනිම සඳහා, පෙර දිනයක් යොදා,mසමුපකාර සමිතිය විසින් සේවක අර්ථසාධක අරමුදලට ව්‍යජව සකස් කළ ලිපියක් මඟින්, අදාල පුද්ගලයා 30% ප්‍රතිලාභයට සමාන, ණය මුදලක් ලබාගෙන ඇති බැවින්, එය පියවීම සඳහා අදාල ප්‍රතිලාභය තම ගිණුමට බැර කරන ලෙස දන්වා යවා ඇති බවයි.

සේවක අර්ථසාධක අරමුදල විසින් එම මුදල බැංකුවට චෙක්පතකින් එවීමෙන් අනතුරුව, සම්පුර්ණ ප්‍රතිලාභයටම අදාලව විශාල පොලියක් අයකර, ඔහුට ලබාදී ඇති සුළු ණය මුදලට අදාල පොලිය පමණක් බැංකු ගිණුමට බැර කර, ඉතිරි පොලි මුදල් බැංකු බලධාරීන්  බෙදා ගෙන ඇති බව, වතු කම්කරුවන් විසින්, වතු කම්කරු මධ්‍යස්ථානය වෙත පැමිණිලි කර ඇති බවත්, ඔහු පවසයි. එසේම මෙම ගණුදෙනුවට අදාල ගිණුම් විස්තර, අයකරගත් පොලි මුදල සඳහන් බැංකු පාස් පොතක්, වෙනත් කුවිතාන්සියක් හෝ ලිපිලේඛණ කිසිවක්, වතු කම්කරුවන්ට ලබාදී නොමැති බවත්, මෙම වංචාව සිදුකොට ඇත්තේ, තලවකැලේ නව සමුපකාර සමිතියේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ පූර්ණ එකඟතාවය හා මඟපෙන්වීම මත බව පෙනියන බැවින්, රාජ්‍ය මුදල් විශාල ලෙස වංචාකිරීම සම්බන්ධයෙන් කඩිනම් පරික්ෂණයක් සිදුකරන ලෙසට,ඉකුත් 07 දා  තම සංවිධානය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට, අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවට සහ විගණකාධිපති දෙපර්තමේන්තුවට පැමිණිලි කල බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *