පාර කියන අත්තම්මා –ප්‍රභාෂා චරිතාංගී

 

කෑගල්ල හෙට්ටිමුල්ල බණ්ඩාරනායක කනිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිට කහ ඉර අසල සතියේ දින පහේම හරි සුන්දර දසුනක් දකින්න පුළුවන්. සාරියකින් සැරසුණු, ඊට උඩින් රියනියාමක ලෙස සටහන් කර ඇති කහ පැහැ කබායක් හැඳ, සුදු පැහැ තොප්පියක් පැළඳි අත්තම්මා කෙනෙක් දරුවන් ආරක්ෂිතව පාර මාරු කරනවා.

ඇය නමින් ලිලී වයලට්. කෑගල්ල පරගම්මන ප්‍රදේශයේ තමයි ජීවත් වෙන්නේ. මේ නමින් දන්නේ නැත්නම්, පාර කියන අත්තම්මා, එහෙමත් නැත්නම් ට්‍රැෆික් ආච්චි කියලා කියන්නකෝ. නොදන්න කෙනෙක් හොයාගන්නත් අමාරු වෙයි. අද මේ ඉඩකඩ වෙන් වෙන්නේ ලිලී අත්තම්මා වෙනුවෙන්මයි.

ලිලී අත්තම්මා කරන්නේ හරි අමුතු රාජකාරියක්. ඇය උදෑසන පාසල අසලට පැමිණ, පාසලට යන එන සිසුන් ප්‍රවේශමෙන් පාරමාරු කරවයි. ඇය වසර 50ක් මුළුල්ලේ ස්වේච්ඡාවෙන් සිදු කරන සේවාවකි මේ. ඇය කරන මේ සමාජමය සත්කාරය වචනෙකින් හෝ දෙකකින් කියා නිම කරන්න පුළුවන්කමක් නෑ. ඇය දහසකට වැඩි දරුවන් පිරිසකට මවක්. මිත්තණියක්. දරුවන් වෙනුවෙන්ම උතුරා යන සෙනෙහස ඇති ඇය දරුවන් වෙනුවෙන්ම සිය ජීවිතයම කැප කරන්නට තරම් පරාර්ථකාමී වූවා.

“මට උදේ හය වෙනකොට ඉන්න බෑ ගෙදර. ළමයි මතක් වෙලා එනවා.”

ඇයට දැන් වයස අවුරුදු අසූ අටක්.මෙවැනි සේවයක් කරන්නට ඇයට අදහසක් එන්නේ හරි අහම්බයකින්. මීට වසර පනහකට ප්‍රථමය ඇගේ දියණිය පාසලට බාර දීමට පැමිණි අවස්ථාවේ, තම දරුවා වගේම එතැන සිටි අනෙකුත් දරුවන්ද පර මාරු කර තිබෙනවා. එයයි මේ සේවයේ ආරම්භය. එතැන් පටන් අද වන තෙක් ඇය නොකඩවා දරුවන් වෙනුවෙන් සිය රාජකාරියේ.

“දැන් දුවට ළමයි තුන්දෙනෙක් ඉන්නවා. මම තාම රාජකාරිය කරනවා.”

උණකට හෙම්බිරිස්සාවකටවත් ඇයව නවත්තන්න බෑ. මහ වරුසාවෙත්, ගිනිගහන මද්ධහනෙත් එතුමිය දරුවන් වෙනුවෙන් මහ පාරේ.

ඇයට ලැබී ඇති අගය කිරීම් නම් බොහොමයි. 2017 වර්ෂයේදී ඇය සම්මානයට පාත්‍ර වෙන්නෙත් මේ සමාජමය මෙහෙවර නිසාවෙන්. ඇය පිළිබඳව පාඩමක් 05 ශ්‍රේණියේ පෙළපොතටත් එකතු කර තිබෙනවා.

“අපේ ලොකු සර් තමයි කිව්වේ, ආච්චි මෙන්න පෙළපොතට පාඩමක් ගිහිල්ලා කියලා. නැත්තං මම දන්නෙත් නෑ . මට හරිම සන්තෝසයි. ජීවත් වෙලා ඉන්න කාලෙම මෙහෙම දෙයක් ලැබුන එකට.”

ඇය බොහොම කඩිසරයි. බස් රථ, වෑන් රථ, ත්‍රිරෝද රථ රියදුරන් ඇයට නිරන්තරයෙන් සහය දක්වනවා. නොසැලකිලිමත්කම නිසා අත්තම්මගෙන් බැනුම් අහන රියැදුරන්, දෙමාපියන්, නැතුවාම නෙවෙයි. ඇය එසේ බැනවදින්නෙ, ඒ අය සමග ඇති පෞද්ගලික තරහකට නොවෙයි. දරුවන් පිළිබඳ ආරක්ෂාව සහ වගකීම තමන් විසින්ම පවරගෙන තියෙන නිසා.

“මම ගෙදරින් හයට පිටත් වෙනවා. හවස හතර විතර වෙනකන් ඉන්නවා. ළමයින්ට පන්ති තියෙනවනේ. ඒක හින්දා ඉන්නවා, ළමයි එනකං.”

ඒ ස්වරය පවා හරිම හෘදයාංගමයි. ඇය මේ වගකීමට බැඳී ඇත්තේ හදවතින්මයි.

“අනේ! ළමයෙකුට යමක් සිද්ධ වුණොත් එහෙම. මගේ දරුවන්නේ. දරුවෝ කවුරුත් එකයි මට.”

සැබවින්ම ඇය දිරිය කාන්තාවක්. හැමෝම අත්තම්මට ගොඩක් ආදරෙයි. බස් රථයකට ගොඩ වුණත්, ඉදිරි පෙලේ පළමු අසුන අත්තම්මට. ඒ විතරක් නෙවෙයි. බස් රථවල රියදුරු මහත්වරු ඇයගෙන් මුදල් ලබා ගන්නෙත් නැහැ. අත්තම්මා දවස පුරාම පාසල ඉදිරිපිට ඉද්දී අත්තම්මට කන්න බොන්නත් අඩුපාඩුවක් වෙන්නෙ නෑ. මොකද ඒ හැමෝටම දැන් අත්තම්මත් තමන්ගෙම කෙනෙක්.

“මාව දැන් එක එක ඉස්කෝලවලට එක්කන් යනවා. ළමයින්ට පෙන්නන්න, මේ තමයි පාර කියන අත්තම්මා කියල. මට හරි සන්තෝසයි”

ඇය කිසිවිටෙකත් ගරු බුහුමන්, පැසසීම්, ලාභ, ප්‍රයෝජන නොපතයි. කෙතරම් එවන් පැසසීම් ලැබුණත් ඇය ඒ සියල්ලම සිනහවකින් පමණක් පිළිගනියි. නැවතත් රාජකාරියේ නිරත වෙයි.

ඇය ආරක්ෂා කළ දරුවන් අද විවිධ තරාතිරම් වල. විවිධ ස්ථානවල සේවය කරනවා. හැමෝම ඇයට ආමන්ත්‍රණය කරන්නේ “අපේ අත්තම්මා” යනුවෙන්.

“තව කොච්චර කාලයක් මං ඉඳියිද නම් දන්නේ නැහැ. මට පුළුවන් තාක් මේ රාජකාරිය මම කරනවා.”

අනෙකා කෙරෙහි දයාව, කරුණාව පතුරවන, තම ජීවිතයම දරුවන් වෙනුවෙන්ම කැප කරන, පරාර්ථකාමී මෙවන් අත්තම්මාවරු ලෝකය කොතරම් සුන්දර තැනක්ද කියා පසක් කරනවා. මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම බව පසක් කළ ආදරණීය අත්තම්මේ, ඔබට අපගේ උත්තමාචාරය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *