සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගෙන් මුදවාගත් ධීවරයෝ මව් රටට පැමිණෙති -පිංතූර සහ සටහන  – මෙලනි මානෙල් පෙරේරා

 

“ලොරෙන්සෝ පුතා 4” බහුදින යාත්‍රාවෙන් ජාත්‍යන්තර මුහුදේ රැකියාවට ගිය සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගෙන පසුව  සීෂෙල්ස්  මුහුදු ආරක්‍ෂක භටයින් විසින් බේරාගත් ධීවරයින් 06 දෙනා 23 වන දා, ඉරිදා, දික්ඕවිට වරායෙන් ලංකාවට පැමිණියහ. මුහුදු කොල්ලකරුවන්ගෙන් සිය ජීවිත ද, යාත්‍රාව ද බේරාදුන් සැමට ධීවරයෝ තුති පිදූහ. අති විශාල පාඩුවකට මුහුණ දුන් යාත්‍රාව හිමිකරු ද ධීවරයින්ගේ පවුල්වල පිරිස් ද පණ නිරුපද්‍රිතව ධීවරයින් ආපසු මව්රටට පැමිණීම ගැන සතුට ප්‍රකාශ කළහ.  

 

“මම යාත්‍රාවේ ස්කීපර්. එදා අපිව සෝමාලි මුහුදු මංකොල්ලකරුවන් පැහැර ගත්තා. මාවත් මා එක්ක රැකියාවට ගිය අනෙක් පස්දෙනාවත් , යාත්‍රාවත් නිරුපද්‍රිතව දෙවියෝ තමයි බේරාගත්තේ. අපේ උදව්වට සීෂෙල්ස් මුහුදු ආරක්‍ෂක භට පිරිස් ආවා. නාවික හමුදාව සහ එහේ පෝර්ට් එකේ හැමදෙනාටම ස්තූතීයි කියනවා. ඒ වගේම අපිව යළි ලංකාවට ගෙන්වාගන්න උදව් කල ලංකාවේ ධීවර අමාත්‍යංශයේ නිළධාරින් ඇතුලු සියලුම දෙනාට ස්තූතියි කියනවා” යැයි යාත්‍රාවේ ස්කීපර් රඛිත දුෂාන් දික්ඕවිට වරායේ දී මෝජෝ පුවත් වෙත ප්‍රකාශ කළේය.


“මාස හතරාමාරක් අපි සෑහෙන දුක් වින්දා. රස්සාව නැති නිසා අපේ ගෙවල් අයට එවන්න සල්ලි තිබුණේ නැහැ. ඒ අය දුන්න කෑම අපට කන්න බැහැ. පස්සේ පස්සේ අපි රුපියල් 
100-200ක් වගේ සුලු මුදලක් පවා සොයා ගන්න මහන්සිවෙලා එහේ වැඩකළ. මට කොන්දෙ අමාරුවක් තියෙනවා, එනිසා බර වැඩ කරන්න බැහැ, නමුත් කීයක්හරි හොයාගන්න ඕනේ නිසා අමාරුවෙන් වුනත් වැඩ කළා. මම අද තමයි මගේ අලුත ඉපදුණු බබාව ප්‍රථම වතාවට දකින්නේ. අපි හැමදෙනාටම සතුටුයි නිරුපද්‍රිතව යාත්‍රාවත් බේරාගෙන ලංකාවට එන්න ලැබීම ගැන” යැයි රඛිත දුෂාන් වැඩිදුරටත් කීවේය.

පසුගිය ජනවාරි 
12 වෙනි දා (2024.01.12) සිය මංගල ගමන ගිය “ලොරෙන්සෝ පුතා 4” යාත්‍රාව සහ එහි සිටි ධිවරයින් 6දෙනා ,පසුගිය ජනවාරි 27 වෙනි දා ජාත්‍යන්තර මුහුදේ දී සෝමාලි කොල්ලකරුවන් විසින් පහර දී අල්ලාගෙන තිබූ අතර, ජනවාරි 29 වෙනිදා සීෂෙල්ස් මුහුදු ආරක්‍ෂකයින් සහ නාවික හමුදාව විසින් යාත්‍රාවත් ධීවරයින් 6දෙනාත් නිරුපද්‍රිතව බේරාගෙන වික්ටෝරියා වරායට ගෙනාහ. 
 
යාත්‍රාවේ අයිතිකරු, ෆ්‍රැන්සිස් මිල්රෝයි ප්‍රකාශකළ අයුරින්, එතැන් සිට ආපසු ලංකාවට පැමිණීම සඳහා පසුගිය මාස ගණනාව තුළ ඉතා සංකීර්ණ රාජකාරී කටයුතු ගණනාවක නියැලෙන්නට සිදුවී ඇති අතර, එය ඉතා දුෂ්කර කාලපරිච්ඡේදයක් වී ඇත.
යාත්‍රාවේ හෝ එහි සිටී ධීවරයින්ගේ වරදකින් එවැනි තත්ත්වයකට මුහුණ නොදුන්න ද , යාත්‍රාව හා ධීවරයින් නිදහස්කර ගෙන නැවත ලංකාවට ගෙනඑම, රාජ තාන්ත්‍රීක ගනුදෙණුවක් වූ අතර එසදහා නොසිතූ ලෙස ඉතාම දීර්ඝ කාලයක් ගත් බව ඔහු පැවසීය.
 
ගෙවී ගිය මාස කිහිපය තුළ දී ධීවරයින් ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් දැක්වූ මන්දගාමී ප්‍රතිචාරය මත  වික්ටෝරියා වරායේ නැංගුරම් දා තිබූ සිය යාත්‍රාවේ සිට ධීවරයින් උපවාසයක් කළ අතර ඔවුන්ගේ පවුල්වල ඥාතින් ද ලංකාවේ සිට උද්ඝෝෂණ, යැදූම් රෑළි යානාදිය පවා පවත්වන්නට විය.
 
මේ මොහොත උදාකරගන්නට විශාල කාර්ය භාරයක් කරන්න සිදුවුණා යැයි ප්‍රකාශ කළ මිල්රෝයි, මෙම අවාසනාවන්ත සිදුවීම තුළ ඔහුට දරාගත නොහැකි ඉතා විශාල පාඩුවක් සිදුවූ බව ද ප්‍රකාශ කළේය.
 
යාත්‍රා තුනක හිමිකරුවෙක් වන මිල්රෝයි, ධීවර පවුල් ගණනාවක් එම යාත්‍රාවලින් ජීවත් කරවමින් රජයට ද විශාල ආදායමක් ලබාදෙන අතර ඔහුගේ මෙම අසරණ අවස්ථාවේදි ධීවර අමාත්‍යංශයෙන් හෝ රජයෙන් ඔහුටවත් ධීවරයින්ටවත් කිසිම ආකාරයක සහනයක් ලබා නොදුන් බව ද මෝජෝ පුවත් වෙත ප්‍රකාශ කළේය.
 
“මගේ යාත්‍රාවත් ධීවරයිනුත් අදාළ අවසර ඇතිව නිත්‍යාණූකූලව රැකියාවේ යෙදෙනකොට මුහුදු මංකොල්ලකරුවන් නිසා තමයි මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේ. මේ යාත්‍රාව වෙනුවෙන් මාසයකට ලක්‍ෂ 06ක ණයක් ගෙවන්න ඔිනේ. මේ වන විට රුපියල් කෝටියක් පමණ පාඩුවෙලා තියෙනවා. මේ සියල්ලක් මම පියවන්න ඕනේ” යැයි මිල්රෝයි සඳහන් කළේය.
 

“අද දවස අපි ගොඩාක් ආශාවෙන් බලාගෙන හිටිය දවසක්. මාස ගණනකට පස්සේ අපේ කට්ටියව ආපහු අපිට මුණගැහුණේ. පහුගිය මාස ගණනාවම අපි ආර්ථීක ප්‍රශ්න එක්ක දුක්වින්දා. අපේ මහත්තයාලත් එහේ දුක්වින්දා. නමුත් කොහොමහරි එයාලාට ආපසු එන්න පුලුවන් වුණා” යැයි ලංකාවට පැමිණි එක් ධීවරයෙකුගේ බිරිඳ වූ තෝඩුවාවේ ඉරේෂා මධුවන්ති මෝජෝ පුවත් සමග අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

“සේරටම පෙර, මේ අයගේ ජීවිත ආරක්‍ෂා කරලා ගෙනත් දුන්නාට දෙවියන්ට ස්තූති කරනවා. ඒ වගේ ම සීෂෙල්ස් රටේ දී මේ අයව බේරාගත්ත සියලුම නිළධාරීන්ටත් ලංකාවේ උදව්කරපු සියලුම දෙනාටත් අපි ස්තුති කරනවා. අපේ දුෂ්කර කාලවලදී වචනයකින් හෝ උදව් කළ අය හිටියා”, යැයි ද ඉරේෂා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


“අපේ තාත්තලාව ගෙනත් දුන්නාට ඔයගොල්ලන්ට ගොඩාක් ස්තූතියි” යැයි සිය පියාගේ පැමිණී ගැන සතුට පළකරමින් තරුෂි ආකර්ෂා පුංචි දියණිය ද මෝජෝ පුවත් වෙත කියා සිටියේය.

මාස 
06කට පසුව සිය දරුවා දුටූ තොඩුවාවේ තුෂාරි, හැගීම්බරව කියා සිටියේ අද කියාගන්න බැරි සතුටකින් ඔවුන් හැමදෙනාම පසුවන බවයි. “අපේ ළමයින්ව ඇස් දෙකට දැකගන්න පුලුවන් වුණා. දෙවියන්ට ස්තුතියි. ඒ වගේම අද දවස උදාකරගන්න උදව්කරපු හැමදෙනාට ම ගොඩාක් ස්තූතියි කියනවා. ඇත්තට ම අපි කියාගන්න බැරි සතුටකින් ඉන්නේ” යැයි තුෂාරි කීවේය. 

ලොරෙන්සෝ පුතා 
4  යාත්‍රාවේ ධීවරයින් වූ, ප්‍රියන්ත කුමාර ප්‍රනාන්දු මෙන්ම අවිශ්ක කෞෂල්‍ය ද මෝජෝ පුවත් වෙත අදහස් දක්වමින් කියා සිටියේ මුහුදු මංකොල්ලකරුවන් අතට හසුවුණු ඔවුන් හට නිරුපද්‍රිතව දරුපවුල් කරා ආපසු පැමිණෙන්නට ලැබීම ගැන මහත් සේ සතුටුවන බවයි. ඔවුන්ව බේරාගත් සීෂෙල්ස් නිළධාරින් සැමටත් ලංකාවේ ධීවර අමාත්‍යංශයේ සහ නාවික හමුදා නිළධාරීන් සැමටත් බොහෝ ස්තූතිවන්ත වන බව පැවසූහ.
 
“අපි ටික දවසක් ඒ වරායේ පොඩි පොඩි රැකියාවන් කළා. අපේ දරුවෝ බලාගෙන ඉන්න නිසා එහෙම කරලා එකතුකරගත්ත මුදල්වලින් ළමයිට කෑම , ටොෆි චොකලට් ටිකක් අරං ආවා” යැයි ප්‍රියන්ත කුමාර කීවේය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *