පාස්කු වින්දිතයන්ගේ අරමුදල් සම්බන්ධයෙන් හිටපු ජනපතිගේ චෝදනාවට කාදිනල් හිමි පිළිතුරු දෙයි — පිංතුරය සහ සටහන මෙලනි මානෙල් ප‍ෙරේර‍ා

 
“මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාගේ චෝදනාව අමූලික බොරුවක් සහ ආවේගශීලීව කිසිඳු වග විභාගයකින් තොරව සිදුකළ ප්‍රකාශයක් බවත් , ද්වේෂ සහගත චේතනාවකින් යුතුව කළ චෝදනාවක් වශයෙන් අපි සළකනවා” යැයි පාස්කු වින්දිත අරමුදල් සම්බන්ධයෙන් කොළඹ අගරදගුරුතුමන් වෙත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදුකරනු ලැබූ චෝදනාවකට පිළිතුරු දෙමින් අගරදගුරු මැල්කම් රංජිත්  හිමි ප්‍රකාශ කළේය.
 
“චෝදනා කරන්න පෙර අදාළ පාර්ශවයන්ගෙන් විමසා බලන්නට එතුමාට යුතුකමක් තිබුණා”, කාදිනල් හිමි ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ විවේචනය දැඩි කතාබහකට ලක්ව ඇති අතර, කාදිනල් රංජිත් හිමිපාණෝ ඊයේ සවස, 21  මාධ්‍ය හරහා ඔහුට ප්‍රතිචාර දැක්වූහ.

 
ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවෙන් සහ ජාත්‍යන්තර වශයෙන් ආධාර ඉල්ලා සිටී බවත්,  කඩිනම් ප්‍රථිකාර ලබාදීම, විශේෂඥ ප්‍රථීකාර ලබාදීම, පෞද්ගලීක රෝහල්වලින් සිදුකර ගතයුතු ප්‍රථිකාර සඳහා , අනාථ වූ දරුවන්ගේ අධ්‍යාපනය සපුරාලීම සඳහා, ගෘහමූලීකයාගේ අහිමිවීම නිසා සිය නිවාස කුලී ගෙවීම සඳහා, ඒ වගේම අසරණ වුණූ අයට නිවාස සාදා දීමේ ව්‍යාපෘති සඳහා යනාදි වශයෙන් සහය අවශ්‍යකර තිබූ අයට සහය වීම සඳහා ආධාර මුදල් ලබාගත් බවත් ඒවා නිත්‍යාණූකූල ලෙස භාවිතා කර ඇති බවත් රදගුරු මැල්කම් රංජිත් හිමි ප්‍රකාශ කළේය.
 
එකතු කරන ලද රුපියල් මිලියන 500 නිවැරදි විගණන වාර්තා සමඟ හසුරුවා ඇති බවත් ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවක ගනුදෙනුව නිරීක්ෂණය කළ හැකි බවත් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේය.

ලැබුණු ආධාර වලින් වින්දිතයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් මේ වන විට මිලියන 460ක් වැය කර ඇති බවද ඔහු පැවසීය.

 
“පාස්කු වින්දිතයින් මුහුණදුන් තුවාල සහ හානිවල ප්‍රමාණය අනුව මිලියන 2 සිට 10 දක්වා උදව්කර තිබෙනවා. ඒ මුදල් ලබාගත්බවට ඔවුන්ගේ අත්සන් සහිත ලේඛණ තිබෙනවා. ඔීනෑම කෙනෙකුට පරීක්‍ෂාකර බලන්න පුලුවන්. ඒ නිසා හිටපු ජනාධිපතිතුමා කරන චෝදනාව සම්පූර්ණ අසත්‍යයක්, ද්වේෂ සහගත චේතනාවකින් යුතුව කරන චෝදනාවක් වශයෙන් අපි සළකනවා.” යැයි කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේය.
 
එමෙන්ම, හිටපු ජනාධිපතිතුමාට විරුද්ධව නඩු දමා ඇත්තේ වින්දිත පවුල්වල අය බැවින් එකී නඩු පිළිබඳව තමන්ට දොස්නගා පලක් නැති බව සඳහන් කළ කාදිනල් හිමිපාණන්, සුප්රීම් උසාවියෙන් හිටපු ජනාධීපතිතුමාට නියෝග කළ දඩ මුදල් එතුමා ගෙවිය යුතු බවත්, එම දඩ මුදල් සියල්ල රජයෙන් ම පත්කල අදාළ වන්දි කාර්යලය හරහා වින්දිතයින් හට ලැබෙන බවත්, කාරණා නිසි ලෙස විශ්ලේෂණය නොකර සාවද්‍ය චෝදනා එල්ල කිරීම කිසිසේත් පිළිගන්නේ නැති බව කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළේය.

 

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන් සඳහා විවිධ දානපතියන්ගෙන් ලැබුණු ආධාර නිසි පරිදි බෙදා නොදුන් බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට බරපතළ චෝදනාවක් එල්ල කළේය.

පසුගියදා පැවති උත්සවයකින් අනතුරුව මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සිරිසේන හිටපු ජනාධීපතිවරයා කියා සිටියේ කතෝලික සංවිධාන, ජාත්‍යන්තර ආයතන සහ ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් විසින් පරිත්‍යාග කරන ලද අරමුදල් අපේක්ෂිත ප්‍රතිලාභීන් වෙත ලැබී නොමැති බවයි.

 
තමාට එරෙහිව නඩු පවරා තිබුණද විපතට පත්වූවන්ට වන්දි ලබාදීමට තම පාලන කාලය තුළ සහතික වූ බව හිටපු ජනාධිපති සිරිසේන මහතා අවධාරණය කළේය.

“මම ගිනස් පොතට ගියේ නඩු 400ක් තියෙන නිසා. කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් නඩු 400 ක් ගොනු කරන ලදී – මියගිය අයට එක් නඩුවක් සහ අත් පා කැඩී ගිය අයට එක් නඩුවක්… වන්දි ගෙවීමට. නමුත් ජනාධිපතිවරයා ලෙස මම ඒ සියල්ලටම පැහැදිලිවම වන්දි ගෙව්වා,” සිරිසේන ප්‍රකාශ කළේය.

 
“පාස්කු ප්‍රහාරයෙන් පසු කතෝලික සංවිධාන, ලෝකයේ රටවල්, විවිධ සංවිධාන, ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් යනාදී පිරිස් කාදිනල් හිමිට මුදල් ලබාදුන්නා. කාදිනල් හාමුදුරුවො ඒ දෙන්න දුන්න සල්ලි වලට මොකද උනේ කියලා… ලැයිස්තුවක් ඉදිරිපත් කරනවා නම් හොඳයි. මෙන්න මට ලැබුණු මුදල් සහ මම දුන් දේ. ඒ සත පහ විපතට පත් අයට දුන්නේ නැහැ” යැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා, ලැබුණු ආධාර සහ ඒවා බෙදාහැරීම පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙස කාදිනල් රංජිත් හිමිපාණන්ට අභියෝග කළේය.
 
විපතට පත් වූවන්ට වන්දි ලබාදීමේ වගකීම ඉටු කළද තමන් දිගින් දිගටම නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දෙන බවත්, එය කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ගොනු කර ඇති නඩු නිසා බව ඔහු යළිත් අවධාරණය කළේය.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed