ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමඟ ගනු දෙනු කරන යුගය යළි උදාවී ඇතැයි අගමැති මහනුවර දී කියයි – නදීක දයා බණ්ඩාර

ලෝකයේ බොහෝ රටවල් යළි ශ්‍රී ලංකාව සමඟ යළි ගනු දෙනු කිරීමට  කැමැත්ත පළ කොට ඇතැයි  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ආර්ථික අර්බුදය හේතුවෙන් ජාත්‍යන්තරය සමඟ පැවැති ගනු දෙනු පසුබෑමකට ලක් වුවත් ඒ යුගය මේ වන විට නිමාවට පත්වෙමින් පවතින බව ද අග්‍රාමාත්‍යවරයා තව දුරටත් පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා සහ එම පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ දන පරිත්‍යාගයෙන් රුපියල් මිලියන අටක වියදමින් පූජාපිටිය, දිවානවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේ ඉදි කරන ලද අඩි 34ක් උසැති මෙරට විශාලතම මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාව විවෘත කිරිමේ අවස්ථාව සඳහා අද (20) ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

උඩරට අමරපුර මහ නිකායේ ශාසනජෝතිකා පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වත්තේගම ධම්මාවාස හිමියන්ගේ මුලසුන යටතේ මෙම උත්සව සභාව ආරම්භ විය.

ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව පමණක් නොව ධනවත් රවවල් පවා යම් පසුබෑමකට ලක්වී ඇතැයි කී අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාව යළි ආර්ථක වශයෙන් ශක්තිමත් වීමේ අංශය කරා යොමු වන බව ද කීවේය. එහිදී මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා නිරන්තරයෙන් හිමිවූ බව සිහිපත් කළ ඒ මහතා, ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මඟ තීරණය කිරීමෙහිලා ද මහ සංඝරත්නයේ ආශිර්වාද අවශ්‍ය යැයි පෙන්වා දුන්නේය.

අධිරාජ්‍යවාදී ආක්‍රමණ හේතුවෙන් අක්කර ලක්ෂ දහතුනක භූමි භාගයක් විහාරස්ථානවලට අහිමිවී ඇතැයි කී ගුණවර්ධන මහතා එසේවුවත් යළි මෙරට රැක ගැනීම සඳහා මහා සංඝරත්නය උදාර මෙහෙවරක් සිදු කොට ඇතැයි ද කීවේය.

අධිරාජ්‍යවාදීන්ගේ ආක්‍රමණ හේතුවෙන් බිඳී ගිය මෙරට සංස්කෘතිය, ආගම රැක ගැනීම සඳහා යළි වැඩපිළිවෙලක් සකස් කළ යුතු යැයි පෙන්වා දුන් අග්‍රමාත්‍යවරයා මහ සංඝරත්නයට එහිදී මුලසුන හිමිවන බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

උඩරට අමරපුර මහ නිකායේ ශාසනජෝතිකා පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මාදිවෙල ධම්මික හිමි, දිවානවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති පූජ්‍ය රාජාංගණයේ සෝරත හිමි ඇතුලු මහා සංඝරත්නය, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගුණතිලක රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, මහාචාර්ය රංජිත් බණ්ඩාර, නීතීඥ උදයන කිරිඳිගොඩ, යදාමිණී ගුණවර්ධන යන මහත්වරු ඇතුලු මහජන නියෝජිතයන් ද ඉන්දීය සහකාර මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස් මෙනවිය ද හාරිස්පත්තුව, පූජාපිටිය හා අකුරණ ප්‍රදේශ නියෝජනය කරමින් ගම්වාසීන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගීවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *