වගාවට වන සතුන්ගෙන් සිදුවන හානි වැළැක්විමට සැලසුම් – නදීක දයා බණ්ඩාර

වන සතුන්ගෙන් වගාවට සිදුවන හානි අවම කිරීම සඳහා අදියර කිහිපයක් යටතේ වැඩසටහන්  ක්‍රියාත්මක කරන බව වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක ලේකම් සමන්ති රණසිංහ මහත්මිය පවසයි.

වන අලියන් ආසන්නයේම පිහිටි අභය භූමි කරා පළවා හැරීම ඇතුලු විකල්ප කිහිපයක් කරා මේ යටතේ යොමු වන බව ද ඇය තව දුරටත් පැවසුවාය.

අතිරේක ලේකම්වරිය මෙම අදහස් පළ කරන ලද්දේ මිනිපේ වනජීවී කලාපයේ ගොවියන් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබාදීම නිමිත්තෙන් මිනිපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි ඉකුත්දා පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

හෙක්ටයාර තිස්දහසකට ආසන්න වගාබිම් වන ජීවී කලාපයට යාබදව පිහිටීම හේතුවෙන් ගොවියන් කාලයක් තිස්සේ මුහුණ දෙන නීතිමය ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා  මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

වන අලියන්ගෙන් වගාවට සිදුවන හානි, කෘෂිකාර්මික සංවර්ධන කටයුතුවලදී වනජීවි කාර්යාලයෙන් අවසර ගැනිම සඳහා පවතින බාධක, පෞද්ගලික ඉඩම් වන ජීවී කලාපයට අයත් කර ගැනිම ඇතුලු කරුණ කිහිපයක් සම්බන්ධයෙන් ගොවි සංවිධාන නියෝජිතයන් හා නිලධාරීන් අතර මෙහිදි සාකච්ඡා විය.

මහ කන්නයේ වී අස්වන නෙළීම මේ වන විට ආරම්භ වී ඇති බැවින් අස්වනු වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඉල්ලුමට සරිලන පරිදි අලි වෙඩි ලබාදීමට පියවර ගන්නා බව අතිරේක ලේකම්වරිය පැවසුවාය.

වන ජීවී කලාපයේ මිනිස් ක්‍රියාකාරකම් සඳහා අවසර ලබා ගැනිමට වනජීවී දෙපාර්තමේන්තුව නිරත්තරයෙන් සම්බන්ධ කර ගැනීම අසීරු වන බැවින් ඒ සඳහා ග්‍රාම නිලධාරීන් සම්බන්ධ කර ගැනීම වඩා යෝග්‍ය බව මෙහිදී යෝජනා විය.

පෞද්ගලික ඉඩම් වන ජීවී කලාපයට අයත්වීම සම්බන්ධයෙන් ජාතික මට්ටමින් සාකච්ඡා කොට කඩිනම් විසඳුමක් කරා එළැඹෙන බව ද අතිරේක ලේකම් සමන්ති රණසිංහ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් අනූෂා බුලත්ගේ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ යූ.එල්.තව්ෆීක්, මහනුවර දිසා වන නිලධාරී භාරත දිසානායක, ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සුනිල් ගමගේ යන මහත්වරුන් ඇතුලු නිලධාරීන් හා ගොවි සංවිධාන නියෝජිතයන් රැසක් මෙම සාකච්ඡාවට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *