කෘෂිකර්මාන්තයට ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට සැලසුම් – නදීක දයා බණ්ඩාර

මහනුවර දිස්ත්‍රික්කයේ  කෘෂිකර්මාන්තය සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් කොට තිබේ.

ඒ සඳහා නියමු ව්‍යාපෘතියක්  ආරම්භ කොට ඇති අතර මේ යටත් ඉදිරි කන්නයේදී පළිබෝධනාශක යෙදීම අපේක්ෂිත  බව එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ටී.ඒ.රණසිංහ මහතා පැවසීය.

මිනිපේ මහා වාරි ව්‍යාපාරයේ අත්හදා බැලීම සිදුකරන බවත් මහනුවර දිස්ත්‍රික්කය සඳහා ඩ්‍රෝන තාක්ෂණික යාත්‍රා දෙකක් හිමිවන බවත් නියෝජ්‍ය කොමසාරිස්වරයා කීවේය. සුහුරු කෘෂිකාර්මික වැඩසටහන යටතේ මෙම තාක්ෂණික අංශය කරා වී ගොවිතැන යොමු කරන අතර එමගින් කෙටි කාලයක් තුළදී ඉහළ කාර්යක්ෂමතාවයක් අපේක්ෂා කර ගැනීම අරමුණකි.

පළිබෝධනාශය යෙදීම මෙන්ම ඉදිරියේදී පොහොර යෙදීම හා වී වැපිරීම, රෝග හදුනා ගැනීම ආදියට ද මෙම තාක්ෂණය යොදා ගත හැකි බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය කොමසාරිස් ටී.ඒ.රණසිංහ මහතා තව දුරටත් සඳහන් කළේය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැති මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදීය.

මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් අනූෂා බුලත්ගේ මහත්මිය, මහනුවර කලාපීය වාරිමාර්ග අධ්‍යක්ෂ සුදත් ගමගේ මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *