ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා නැවුම් කිරිබත් පිදෙන අලුත් සහල් මංගල්‍යය – නදීක දයා බණ්ඩාර – මහනුවර

ශ්‍රී දළදා මාලිගාව සතු කෙත්වතු වලින් නෙළා ගන්නා ලද නැවුම් වී අස්වැන්නෙන් සැකසූ කිරිබත්, දන්ත ධාතූන් වහන්සේ උදෙසා පූජා කෙරෙන වාර්ෂික අලුත් සහල් මංගල්‍යය (25) පෙරවරුවේ සිදුවිය.
සෑම වර්ෂයකදීම දුරතු පුර පසළොස්වක පෝය දින අලුත් සහල් මංගල්‍ය සිදුවන අතර දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මංගල්‍ය සිදුවේ.
ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව සිදුවන සිව්මහා මංගල්‍යයන්ගෙන් පළමු වැන්න වන්නේද අලුත් සහල් මංගල්‍යයයි.
මෙම පූජාව සඳහා සකස් කරන ලද නව වී අස්වැන්නෙන් සැකසූ සහල් සෙසු රජමහ විහාර හා දේවාල වෙත පිරිනැමීම පුරාණ චාරිත්‍රානුකූවලට පල්ලකැලේ පිහිටි ඓතිහාසික ගුරුදෙණිය අටුවේදි ඉකුත්දා සිදුවිය.
කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් කරවන ලද ශ්‍රී දළදා මාලිගාවට අයත් ගුරුදෙණිය වෙල් යාය වික්ටෝරියා ජලාශයට යටවීම නිසා ගුරුදෙණියේ පිහිටි පෞරාණික අටුව ඉන් ඉවත් කොට එම පිහිටි අයුරින්ම පල්ලකැලේ ඉදිකොට තිබේ. ගුරුදෙණිය වෙල් යාය වෙනුවට අටුව සඳහා වී සම්පාදනය කර ගැනීම ශ්‍රී දළදා මාලිගාවට අයත් යක්කුරේ වෙල් යායෙන් මේ වන විට සිදුවේ.
යක්කුරේ වෙල් යායෙන් නෙළා පල්ලකැලේ පිහිටි අටුවේ තැම්පත් කොට තුබුණු සහල් ශ්‍රී දළදා මාලිගාව, රජ මහ විහාර හා විහාර දේවාලගම් සඳහා නියමිත ප්‍රමාණයක්ට ප්‍රදානය කිරීම දියවඩන නිලමේවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා සිදුවිය. එහිදී ලබා ගත් සහලින් සකස් කර ගත් නැවුම් කිරිබතක් දන්ත ධාතූන් වහන්සේ උදෙසා පූජා කිරීම අද පෙරවරුවේ සිදුවිය.
දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා, තේවාව භාර මහා සංඝරත්නය හා රාජකාරිභාර පිරිස් මෙම අවස්ථාවට එක්වූහ.