බුදු දහම විකෲති කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලති.

පටු ලාභාපේක්ෂාවෙන් උතුම් ශ්‍රී සද්ධර්මය විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සම්පාදනයට කටයුතු කරන ලෙස දන්වමින් ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

සංවිධානාත්මකව බුදු දහම පිළිබඳව සාවද්‍ය මතවාද ජනගත කරමින් බෞද්ධ දර්ශනයේ හා සංස්කෘතියේ හරපද්ධතීන්ට හානි කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව උන්වහන්සේලා අදාළ ලිපිය මගින් ජනපතිවරයාගේ අවධානයට යොමුකර ඇත.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණතරන, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩඋයන්ගොඩ මෛත්‍රී මූර්ති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල යන ස්වාමින්ද්‍රයන් වහන්සේලා ගේ අත්සනින් යුතුව ජනපතිවරයා වෙත යොමුකර තිබෙන ලිපියේ මෙසේද සඳහන් වෙයි.

විවිධ පටු ලාභාපේක්ෂාවන්ගෙන්  ගිහි – පැවිදි පිරිස් සංවිධානාත්මකව බුදු දහමේ ගම්භීරත්වය මෙන් ම සුනිශිතභාවය විනාශකරමින් ධර්ම හානියක් මෙන්ම ශාසනික හානියක් සිදුකිරීමේ අන්තවාදී ක්‍රියාදාමයක නිරතව සිටී. මෙම අප්‍රතිකාරී සංවිධානාත්මක ක්‍රියා පිළිවෙතෙහි වඩාත් මෑත කාලීන නිදර්ශන වනුයේ තමන් අවලෝකිතේෂ්වර බෝධිසත්ත්වයන් ලෙස හඳුන්වා දෙමින් බෞද්ධ මහජනතාව නොමග යවමින් බෞද්ධ දාර්ශනික හර පද්ධතීන් විනාශ කිරීමට පුද්ගලයෙක් කටයුතු කිරීම හා ජීවිතයේ යථාර්ථය පිළිබඳ බෞද්ධ දේශනාවන් සාවද්‍ය ලෙස විස්තර කරමින් අසරණ මහජනතාව නොමග යවමින් සදාකාලික සැපය ලබා ගැනීම උදෙසා පුද්ගලයන් සියදිවි නසා ගැනීමට පෙළඹවීමයි.

මීටපෙර ද විවිධ පුද්ගලයන් චිරාගත භික්‍ෂු භූමිකාවට හානිකිරීම, බුද්ධ චරිතය විකෘති කිරීම බෞද්ධ මහජනතාවගේ වන්දනාවට පාත්‍රවන පූජීනීය වස්තූන් පිළිබඳ නිග්‍රහාත්මක ප්‍රකාශයන් සිදු කිරීම වැනි අන්තගාමී සමාජ කැළඹීමකට තුඩු දෙන ක්‍රියාවන් සිදුකරමින් බෞද්ධ මහජනතාව නොමග යැවීමට විවිධ ප්‍රයත්නයන්හි නිරත වූ ආකාරය අපහට නිරීක්‍ෂණය විය. එම සෑම සිදුවීමක් පිටුපසම යම් සංවිධානාත්මක කණ්ඩායම් ක්‍රියාත්මක වූ ආකාරය හා ඇතැම් අන්තවාදී සංවිධාන මගින් එවැනි පුද්ගලයන්ට සුවිසල් මූල්‍යමය දායකත්වයක් ලබාදුන් ආකාරය පිළිබඳවත් කරුණු හෙළි විය.

බුදු දහම විනාශ කිරීමට උත්සහ දරන මෙවැනි පුද්ගලයන්ගේ හැසිරීම තවදුරටත් හුදු සිද්ධීන් ලෙස ලඝු කොට සැලකිය නොහැකි බව ප්‍රත්‍යක්‍ෂ වී හමාර ය. එහෙයින් සංවිධානාත්මකව උතුම් සම්බුද්ධ දේශනාවන්ගේ සුනිශිත අර්ථයන් කෙලෙසමින් අනුක්‍රමයෙන් සිදු කරන මෙවැනි සිදුවීම් හුදෙකලා කොට විසඳුම් සෙවීම වෙනුවට යළි ලාංකේය සමාජය තුළ මෙවැනි ධර්ම විකෘතීන් හා ශාසන විකෘතීන් සිදුකිරීම වැළැක්වීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් කිරීමට කාලය එළඹ ඇත. එසේ ම එවැනි ප්‍රකාශ සමාජ මාධ්‍ය තුළ ප්‍රවර්ධනය කරමින් බෞද්ධ මහජනතාව නොමග යවමින් සමාජ කැළඹීම් ඇතිකිරීමට උත්සහ දරන පුද්ගලයන් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමට හා එවැනි ප්‍රකාශන ප්‍රවර්ධනය නියාමනය සිදුකිරීමට නෛතික ප්‍රතිපාදන සම්පාදනය කිරීම ද කාලීන අවශ්‍යතාවකි.

එහෙයින් සම්බුද්ධ ශාසනයේ සුරක්‍ෂාව ප්‍රවර්ධනය හා පෝෂණය උදෙසා බැඳී සිටින ශ්‍රී ලංකා ජනරජයේ ගරු ජනාධිපතිතුමන් ලෙස මේ පිළිබඳ ඔබතුමන්ගේ කාරුණික අවධානය යොමුකොට ධර්ම විකෘතින්හි හා ශාසන විකෘතින්හි යෙදෙමින් පටු ලාභාපේක්‍ෂාවෙන් උතුම් ශ්‍රී සද්ධර්මය විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සම්පාදනයට කටයුතු කරන ලෙස හිතාධ්‍යාශයෙන් යුතුව දන්වා සිටිම්හ.මේ පිළිබඳ ඔබතුමන්ගේ කඩිනම් අවධානය අගය කරන අතර ම ඔබතුමන්ට රත්නත්‍රයේ ආශීර්වාදය සැලසේවායි ආශිංසනය කරම්හ යැයි එම නිවේදනයේ සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *