ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින විශ්වවිද්‍යාල ප්‍රජාව – චාමර සම්පත්

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් තවමත් පහව ගොස් නොමැති අතර රට බංකොලොත්භාවයෙන් මිදීමට ආසන්න තත්වයේ සිටින බව පෙනෙන්නට තිබේ. කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් බොහෝ ක්ෂේත්‍රයන්වෙත දැඩි පහරක් එල්ල වී තිබෙන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව වැඩි ම බලපෑමක් එල්ල වී ඇති කොටසක් වන්නේ දරුවන්ය. එමෙන්ම උසස් අධ්‍යාපනය හදාරණ වයස අවුරුදු 19-25 කාණ්ඩයේ තරුණ තරුණියන්ද මේ අර්බුදය හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව ඇති අතර එය මෙතෙක් කිසිවෙකුගේ අවධානයට ලක්වී නොමැති වීමද කණගාටුවට කරුණකි.
මේවනවිට ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය විශ්ව විද්‍යාල අර්ධ රාජ්‍ය විශ්ව විද්‍යාල සහ පෞද්ගලික විශ්ව විද්‍යාල මෙන්ම තවත් උසස් අධ්‍යාපනය ලබාදෙන ආයතනය බොහොමයක් ඇත. මේ සියල්ල තුළම අධ්‍යාපනය ලබන පිරිස අතරින් බහුතරයකට මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව තිබේ. කොළඹ නගරයේ මෙන්ම කොළඹින් බැහැරව පිහිටුවා ඇති විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හදාරන සිසුසිසුවියන්ගෙන් තොරතුරු විමසමින් මේ පිළිබඳව කළ සොයාබැලීමේදී මේබව වඩාත් තහවුරු විය.
විශ්වවිද්‍යාල ප්‍රජාව සියලුදෙනාට නේවාසිකාගාර නොලැබෙන හෙයින් විශ්වවිද්‍යාල ආසන්නයේ කුලිනිවාස හෙවත් බෝඩිම් කාමරවල නැවතීමට හුරුවී සිටින්නේ අධ්‍යාපනය ලබාගැනීමේ පහසුව වෙනුවෙනි. නමුත් එකවරම රටතුළ ඇතිවු ආර්ථීක අර්බුදය හේතුවෙන් මේවනවිට බෝඩිම් කාමරවල මිල දරාගත නොහැකි මට්ටමින් ඉහළ ගොස් ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් වන භානුක ඔවුන් පත්ව ඇති පහසුතාවය පිළිබඳ සඳහන් කළේ මෙසේය,
“උසස් පෙළින් පස්සේ කැම්පස් ඇවිත් නගරයක් ආසන්නයේ බෝඩිමක නැවතුනාට පස්සේ අපිට ගොඩක් මුදල් වියදම් වුනා. මේනිසා පාර්ට් ටයිම් ජොබ් වලට යන්න හෙව්වා. එතැනදි මට බිස්කට් කොම්පැනියක මම ජෙබ් එකට යන්න පුළුවන් වුනා. ඒහෙම මුදල් ලැබුණ නිසා අපි බෝඩිමක නැවතුනා. කැම්පස් යන්න අවශ්‍ය මුදල් ඒ විදිහට හොයාගත්තා. නමුත් මේ ආර්ථික ප්‍රශ්න එක්ක අපිට දැන් පාර්ට් ටයිම් ජොබ් ලැබෙන්නේ අඩුවෙන් මේ නිසා දැඩි දුෂ්කරතාවයකට මුහුණදීලා ඉන්නවා. මම දන්න හැටියට මේක බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක්” මේ නිසාම ඇතැමුන් බෝඩිම් කාමර වලින් ඉවත්වී ඇති අතර කෙසේවෙතත් මේ හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යාපනටද බාධාගෙන දෙන තත්වයන් ඇතිවී තිබේ.
ආර්ථික අර්බුදයේ තවත් එක් ප්‍රතිඵලයක් ලෙස ලිපිද්‍රව්‍ය පොත්පත් මිල ඉහළ යාම , මහපොළ ශිෂ්‍යාධාර නිසි පරිදි නොලැබීම අධ්‍යාපන උපකරණවල මිල ඉහළ යාම වැනි කටයුතු නිසා ද විශ්වවිද්‍යාල ප්‍රජාව අපහසුතාවයට පත්ව ඇත. මේ සම්බන්ධයෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලයක ශිෂ්‍යයෙක් වන තේනුක සහ අර්ධ රාජ්‍ය විශ්ව විද්‍යාලයක ශිෂ්‍යයෙක් වන දිසානායක අදහස් දැක්වුයේ මෙලසිනි.
මම කැලණිය කැම්පස් එකේ ඉගෙන ගන්නේ. අපි බෝඩිම්වල නැවතිලා හැමදේම පිටින් ගන්න තැනට පත්වෙලා තිබෙනවා. නමුත් අපිට හරියට මහපොළවත් ලැබෙන්නේ නැහැ. ඒවගේම ආහාර පාන ලිපිද්‍රව්‍ය පොත්පත් මේ සිල්ලෙම මිල වැඩි වෙලා. ඒවගේම බෙහෙත් වල මිල වැඩිවෙලා . මේ නිසා මේ අවශ්‍යතා සම්පුර්ණ කරගන්න විශාල වියදමක් දරන්න වෙලා තියෙනවා. මීට කලින් මම විශ්වවිද්‍යාලය ආසන්නයේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහා අතිරේක පංති පැවැත්වා. නමුත් මේවෙද්දි තියෙන ආර්ථික අර්බුදය නිසා එලෙස කණ්ඩායම් පංති හෝ නිවෙස්වලට ගිහින් පංති පැවැත්වීමේ අවස්ථාව අඩුවෙලා. මොකද ඒඅයටගෙත් වියදම් වැඩිවෙලා නිසා අතිරේක දේවල් සීමාකරලා තියෙන්නේ. මේ නිසා ඉස්සර කරගත්තු වැඩකරගන්න බැරිව දැඩි අපහසුතාවයට පත්වෙලා ඉන්නේ”
ඒමෙන්ම රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලවල මුදල් ගෙවා ඉගෙන ගන්නා පිරිසටද මෙම ප්‍රශ්නවලට මුහුණදීමට සිදුව තිබේ. දිසානායක සිසුවා ඒ සම්බන්ධයෙන් පැවසුයේ මෙවැන්නකි,
මම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය තුළින් ඇතුළට ඇවිත් ඉගෙන ගන්නවා. ඒවෙද්දි පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා සල්ලි හොයගන්න හිතාගෙන මේ කැම්පස් එකට ආවේ. නමුත් එකපාරට රටේ ඇතිවුන තත්වෙ එක්ක හැමදේම මිල ඉහළ ගිහින් අපිට කිසිම වැඩක් කරගන්න බැරි තත්වය ඇවිත් තියෙන්නේ. ගෙදරින් ලැබෙන මුදල් ප්‍රමාණවත්මදි මේ වැඩ කරගන්න. පොඩි පොඩි වැඩ හොයාගෙන අපි ඒවට යනවා. නමුත් ඉස්සරතරම් අපිට දැන් වැඩ ලැබෙන්නේ නැහැ. මේගැන වැඩිය කතානොකළට ලොකු ප්‍රශ්නෙක අපි ඉන්නේ. මොකද පෞද්ගලික විශ්ව විද්‍යාල නිසා අපේ වියදම් තවත් වැඩිවෙලා තියෙනවා.
පවතින ආර්ථික තත්වය හමුවේ නිසි පරිදි ආහාර ලබාගැනීමට හැකියාවක් නොමැතිවීම තුළ ආහාර ලබාගැනීම සීමා කර ඇති තත්වයකට විශ්වවිද්‍යාල ප්‍රජාවේ බහුතරය පත්ව තිබේ. මේසම්බන්ධයෙන් කළ සොයාබැලීම් තුළ ඔවුන් දිනක ආහාර වේල් එකකට හෝ දෙකකට සීමාකරගෙන ඇති අතර බොහෝ දෙනා කෙටිකෑම වලට හුරුවී ඇත. මේනිසා ඔවුන්ගේ පෝෂණ සහ සෞඛ්‍ය තත්වයටද තර්ජනයක් එල්ලවී ඇති අතර වැඩිවශයෙන් සීනි , පිටි සහ තෙල් කෑම වැඩිවශයෙන් ආහාරයට ගැනීමත් සමඟ අනාගතයේ ලෙඩ රෝගවලට ගොදුරුවීමේ අවධානමක්ද පෙන්නුම් කරයි. කොළඹ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියක් වන උපමාලි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුයේ මෙසේය,
“ආහාර ප්‍රශ්නය අපිට හොදටම තියෙනවා. මේනිසාම ළමයි අඩු මුදලට කන්න පුරුදුවෙලා තියෙනවා . පෝෂණය ගුණයක් සමබල ආහාරවේලක් කියන දේවල් හිතන්න වෙලාවක් නැහැ ඔවුන්ට. බඩගින්න නිවාගන්න විතරක් කන්න පුරුදුවෙලා. පිටත ආහාරවල මිලට වඩා කැම්පස් එක ඇතුලේ කැන්ටින් ඒකේ ආහාර මිල අඩුනිසා හොද නරක බලන්නේ නැතිව ඒකෙන් කන්න පුරුදු වෙලා තියෙනවා. ඒවගේම මේවෙද්දි අපේ කෑම වේල් ගණන දෙකකට හෝ එකකට සීමාවෙලා තියෙනවා. මිලගණනන් ඉහළ යාමට තමයි එයට හේතුව. ආහාර වගේම අපේ අධ්‍යාපනික වැඩවලටත් මුදල් යොදවන්න තරම් ප්‍රමාණවත් මුදලක් අපිට ලැබෙන්නේ නැහැ. පාර්ට් ටයිම් ගියපු අයටත් දැන් ඒ රැකියා නැතිව ගිහින් තිබෙනවා. තවදුරටත් පාර්ට් ටයිට් වලට යන අයටත් ඒ ලැබෙන මුදල් ප්‍රමාණවත් නැති බව තමයි ඔවුන් කියන්නේ. මම ඒවිදිහට පාර්ට් ටයිම් කළේ නැහැ. තිබුණු මුදල් කළමණාකරනය කරගන්න උත්සහ කළා. නමුත් දැන් එහෙම ඉන්න බැරි තත්වයක් ඇතිවෙලා තිබෙන්නේ.
මේ සියලු තත්වයන් සලකා බැලීමේදී ආර්ථික අර්බුදය හේතුවෙන් දැඩි පහරක් එල්ලවී තිබෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රජාවගේ අධ්‍යයන කාලය සීමාවීවෙමිනි. ඒ මන්ද යත් ආර්ථික අර්බුදය මඟහරවා ගැනීමට විවිධ ආදායම් මාර්ග කෙරේ ඔවුන් යොමුවන විට අධ්‍යයන සඳහා ඇති කාලය සීමා වන අතර මේ හේතුවෙන් ඔවුන් තවත් දුෂ්කරතාවයන්ට පත්වේ. විශ්ව විද්‍යාල ප්‍රජාවගේ ආර්ථික අර්බුදයන් සම්බන්ධයෙන් කළ සොයාපැලීමේදී ඔවුන් මේ පිළිබඳවද විශ්වවිද්‍යාල සිසුන්වන රවීන්ද්‍ර අදහස් දැක්වු අතර ඔවුන් පවසන්නේ මෙවැනි කාරණයකි,
“අපේ පවුලේ අයට යහමින් මුදල් නැහැ. ඒ නිසා කැම්පස් ආවට පස්සේ මම පාර්ට්ටටිම් ජෝබ් එකකට ගියා. ඒහරහා විවිධ වැඩ කරන්න මම යොමුවුනා. අපිට එහෙම වෙන්කළේ අපිට ඉගෙන ගන්න තියෙන කාලය . මොකද පවතින ආර්ථිකය තුළ අපිට තියෙන අපහසුතා නිසා තමයි අපි එහෙම කාලේ වෙන්කරලා පාට් ටයිට් කළේ. පාඩම් කරන්න තියෙන කාලේ මේ නිසා අපිට අඩුවෙනවා. මහපොළෙ නියමිත කාලෙට ලැබෙන්නේ නැහැ ආහාර වියදම් වැඩියි පොත්පත් පොෆොකොපි මේ සියල්ල මිල වැඩිවෙලා තියෙන්නේ. බොඩිම් වලට සල්ලි ගෙවලා හැමදේම කරගන්න ගෙදරින් මුදල් ලැබෙන්නේ නැහැ. ඒනිසා මේදෙවල් නොකරත් බැහැ” යනුවෙන් පැවසීය. එමෙන්ම මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු තවත් සිසුවියක් වන භාග්‍යා පැවසුයේ මෙසේය,
“මම විශ්වවිද්‍යාලයට එන්න කලින්ම පාර්ට් ටයිම් ජොබ් කලා. ඒනිසා බොහොම පහසුවෙන් මට විශ්ව විද්‍යාලයේ කටයුතු කරගන්න පුළුවන් වුනා. විශ්ව විද්‍යාලයට ආපු මුල් කාලයෙත් මම ඒ විදිහට පාර්ට් ටයිම් ජොබ් කලා. නමුත් මේ වෙද්දි ඒ ආයතනය බාහිර පුද්ගලයෝ ගන්න එක නැවැත්තුවා. වියදම් සීමා කරන්න තීරණය කරලා එහෙම තීරයක් ගත්තා කියලා තමයි අපිට දැනුම් දුන්නේ. මම වගේ විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්න කිහිපදෙනෙක්ම එතැන වැඩකළා. දැන් අපි පාට්ටයිට් විදිහට කරන්න පුළුවන් වැඩ හොයනගමන් ඉන්නේ. ඒ විදිහට රැකියාවක් කරලා ඉතිරිකරගත්තු මුදල් ටිකක් තියෙන නිසා මේදවස් වල පහසුවෙන් කැම්පස් යනවා. නමුත් ඉදිරිය ගැනනම් බයක් තියෙනවා. කොහොමහරි ජොබ් එකක් හොයාගන්න උත්සහ කරනවා යනුවෙනි.
ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවිදින අඩු ආදායම් ලාභීන් , රෝගී ප්‍රජාව, දරුවන් , එමෙන්ම ස්වයං රැකියා ක්ෂේත්‍ර සහ තවත් විවිධ ක්ෂේත්‍ර පිළිබඳ දැඩි ලෙස කතාබහ උවද විශ්වවිද්‍යාල ප්‍රජාව මුහුණ දෙන අපහසුතා පිළිබඳ කිසිවකුගේ අවධානය යොමුව නොතිබීම කණගාටුවට කරුණකි. නව යොවුන් වියෙන් තරුණවියට පාතන විටම මෙලෙස ආර්ථික අර්බුදය හේතුවෙන් ඔවුන්ගේ තරුණ කාලය තුළ වන්දිගෙවීමට සිදුවීමද කණගාටුවට කරුණකි. එබැවින් ආර්ථික අර්බුදය ඉක්මණින් විසඳීමට මෙන්න මෙම ප්‍රජාව පිළිබඳ අවධානය යොමුකිරීමටද බලධාරීන්ගේ වගකිමක් වී තිබේ.