මහවැලි ගඟේ සංවේදී පරිසර පද්ධතිය වූ හක්කිද පරිසර ආරක්ෂණ කලාපයේ තිබූ දූපත් සමූහය දිට්වා බිලි ගනී දූපත් විස්සෙන් 15 කට වඩා අහිමි වෙලා – මොහොමඩ් ආසික්
ශ්‍රී ලංකාවේ දිගම ගංඟාව වන මහවැලි ගඟේ පාරිසරික ආරක්ෂිත කලාපයක් ලෙස ගැසට් කර ඇති එකම ස්ථානය වන මහනුවර ගන්නෝරුව වරාතැන්න හක්කිද පරිසර ආරක්ෂිත කලාපයේ මහවැලි ගඟ මැද තිබූ දූපත් විස්සෙන් දූපත් 15 කට වැඩි ප්‍රමාණයක් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අහිමි වි ගොස් ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙති.
කිලෝමීටර් 335 ක් පුරා ගමන් කරන ශ්‍රී ලංකාවේ දිගම ගංඟාව වන මහවැලි ගඟේ පටුම ස්ථානයත් පළලම ස්ථානයත් මෙම ප්‍රදේශයේ මීටර් 500 ක් තුල දක්නට ලැබෙන අතර එම භූමිය තුල සංවේදී පරිසර පද්ධතියක් මෙන්ම දූපත් 20 කට වඩා දක්නට ලැබිණ. මෙහි විශාලතම දූපත අක්කර දහයකින් පමණ සමන්විත වන අතර අනෙකුත් දූපත් ඊට බෙහෙවින් අඩු ප්‍රමාණයකින් සමන්විත වී තිබිණ. මෙම කුඩා දූපත් සියල්ල මේ වන විට එහි තිබූ ශ්‍රී ලංකාවට ආවේණික ශාඛ විශාල ප්‍රමාණයක් සමඟ දිට්වා සුළි කුණාටුවට සේදී ගොස් තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ ඇති එකම තෙත් බිම් පරිසරය වන මෙම පරිසර පද්ධතිය තුල ක්ෂීරපායි සත්ව විශේෂ 23 ක් ,පක්ෂි විශේෂ 77 ක්,උරඟ විශේෂ 17 ක්ද , ගොළුබෙලි විශේෂ 17 ක්ද වාසය කරන බව පිරිසර විද්‍යාඥයින් පෙන්වා දෙති. ඒ වගේම මත්ස්‍ය විශේෂ 18 ක් මෙහි දක්නට ලැබෙන අතර ශ්‍රී ලංකාවට ආවේණික කොළ ගඩයා නම් වන මාළු විශේෂයද මෙම ස්ථානයේ දක්නට ලැබෙයි. මෙම පරිසරයේ පවතින මෙම විශේෂතා නිසා 2017 ජූනි මස 17 වනදා නිකුත් කළ අංක 2024/6 දරණ ගැසට් පත්‍රය මගින් පාරිසරික ආරක්ෂණ කලාපයක් ලෙස එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් හෙක්ටයාර් 61 කින් පමණ සමන්විත මෙම ප්‍රදේශය ගැසට් කරනු ලැබීය. එතැන් පටන් මධ්‍යම පරිසර අධිකාරියේ පාලනය යටතේ පැවැති නමුත් දිගින් දිගටම අනවසර ඉදිකිරිම්, පරිසරයට නුසුදුසු මිනිස් ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් මෙහි සිදු වූ බවත් පරිසරවේදීන් පෙන්වා දෙති.
ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥ ප්‍රදීප් සමරවික්‍රම මහතා මේ සම්බන්ධයෙන් මෙසේ සිය අදහස් දැක්වීය.
“ මහවැලි ගඟේ පටුම සහ පළල්ම ස්ථානය මෙම ප්‍රදේශයේ මීටර් 500 ක් ඇතුලත දී පමණක් අපට හමු වෙනවා. මෙම ස්ථානයේ පළල්ම ස්ථානයේ දූපත් 20 ක් පමණ මින් පෙර දකින්නට තිබුණා.නමුත් මේ වන
විට විශාලම දූපත හැරෙන්නට අනෙක් සියලු දූපත් හේදිලා ගිහින් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව දිට්වාත් එක්ක මේ අනවසර ඉදිකිරිම්. මේ ප්‍රදේශයේ විශාල වශයෙන් අනවසර ඉදිකිරීම් සිදු වුණා. අපි නිතරම මාධ්‍යවලින් මේවා පෙන්වා දුන්නා. නමුත් කිසිම ප්‍රයෝජනයක් වුණේ නෑ. හෝටල් ඇතුළු විශාල අනවසර ඉදිකිරිම් නිසා ගඟ එන්න එන්නම පටු වෙන්න පටන් ගත්තා. ඒ නිසා ගලා යන විශාල ජල කඳ දූපත් ඩැහැගෙන ගිහින් තියෙනවා.මේ දූපත් විශාල ප්‍රමාණයකට මේ දැඩි හානි සිදු වුණේ අනවසර ඉදිකිරීම් නිසා.මේවා දැන්වත් පාලනය කරලා නිසි පියවර ගැනීම ඉතා වැදගත් වෙනවා යැයි කීය.
ඒ වගේම මෙම සුවිශේෂී පාරිසරික කලාපය තුලට කියුබ් දහස් ගණනින් පස් ගෙනවිත් ගොඩ බෑම නිසා තව දුරටත් පරිසරයට හානි සිදුව ඇති බවත් ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥ ප්‍රදීප් සමරවික්‍රම මහතා තව දුරටත් කිය.
ශ්‍රී ලංකාවේ දිගම ගංඟාව වන මහවැලි ගඟේ සංවේදීම පරිසර කලාපය වන මෙම හක්කිද පරිසර අරක්ෂණ කලාපය තුල සිදු වන පරිසර විරෝධී ක්‍රියාවන් නවත්වා එය ආරක්ෂා කර ගන්නට වග කිව යුතු අංශ පියවර ගත යුතු බවත් පරිසරවේදීන් මෙන්ම ප්‍රදේශයේ ජනතාවත් ඉල්ලා සිටිති.
