පවන් රත්නායක හැබෑ දක්ෂයෙක්: ජෝ රූට් කියයි – නිෂිකා හංසනී
එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයේදී විශිෂ්ට ශතකයක් රැස් කළ ශ්‍රී ලංකා ක්‍රීඩක පවන් රත්නායක, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දීප්තිමත් අනාගතයක් හිමි ක්‍රීඩකයෙකු බව එංගලන්ත සුපිරි පිතිකරු ජෝ රූට් පවසනවා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී එංගලන්තය ලබාදුන් ලකුණු 358ක දැවැන්ත ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පවන් රත්නායක ලකුණු 121ක් රැස් කිරීමට සමත් වුණා.
ඔහුගේ මෙම සටන්කාමී ඉනිම පිළිබඳව අදහස් දක්වමින් ජෝ රූට් පවසා සිටියේ, තමන් ඉදිරියේදී පවන්ගේ දක්ෂතා පිළිබඳව දැඩි උනන්දුවකින් පසුවන බවයි.
“ඔහු ඉතාමත් දක්ෂ ලෙස ක්‍රීඩා කළා. විශේෂයෙන්ම දඟපන්දු යවන්නන්ට එරෙහිව ඔහුට හොඳ තාක්ෂණයක් තිබෙනවා. පන්දුව හසුරුවන ආකාරය සහ අනවශ්‍ය ලෙස පන්දු අපතේ නොයවා ලකුණු පුවරුව ක්‍රියාත්මකව තැබීමට ඔහුට සහජ හැකියාවක් තිබෙනවා.” යනුවෙන් ඔහු සඳහන් කර තිබෙනවා.
පවන් හට සීමා ඉරි (Boundaries) කරා පන්දුව යොමු කිරීමට මෙන්ම ලකුණු හුවමාරු කරගැනීමට (Strike rotation) ඇති හැකියාවද රූට්ගේ ඇගයීමට ලක්වුණා.
“ඔහුට ඇත්තේ ඉතාමත් දීප්තිමත් අනාගතයක්. ඔහු ක්‍රීඩා කළ ආකාරය ඇත්තටම විශේෂයි. තවත් පිතිකරුවන් එක්කෙනෙකු හෝ දෙදෙනෙකු ඔහුට සහය ලබා දුන්නේ නම් තරගයේ ප්‍රතිඵලය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබුණා,” යැයි රූට් වැඩිදුරටත් පැවසුවා.
