මැර ප්‍රහාරය හෙළා දැකීමට කතෝලික පැවිදි – පූජක සංඝය පාරට! (වීඩියෝ සහිතයි)

මේ මස 24 වෙනිදා රාත්රියේ මහ මග සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි කතෝලික පියතුමෙකුට පොලිස් නිළධාරීන් සිව් දෙනෙකු විසින් දැඩි ලෙස පහර දී තිබු අතර, ඊට කතෝලික සභාවේ විරෝධය දක්වමින් සහ පහරකෑමට ලක්වූ පියතුමා වෙත සහෝදරත්වය දක්වමින් නිහඩ විරෝධතාවක නිරත විය.

මෙම විරෝධතාව සහ සහයෝගීතාව දැක්විමේ නිහඩ උද්ඝෝෂණය, අද – 27 ,පෙරවරු 9.30 ට ආරම්භකර පැයක පමණ කාලයක් කොළඹ-පුත්තලම ප්රධාන මහා මාර්ගයේ  මීගමුව මහනගර සභාව ඉදිරිපස  දී පවත්වන්නට යෙදුණි. නිහඩ උද්ඝෝෂණය, කොළඹ අගරදගුරු පදවියේ මීගමු කළාපිය පූජක, පැවිදි සංඝය පමණක් සහභාගී වෙමින් පවත්වන්නට විය.

“ශාරීරික හා මානසික හිංසනයන් හෙළා දකිමු ” , ” මිලාන් පියතුමෙනි අපි ඔබ සමගයි ”  යනුවෙන් ලියු පෝස්ටර්ස් අතැතිව සිටිී ගරු පූජක පැවිදි සහෝදර සහෝදරියන් ජපමාලය උච්චාරණය කළහ.

“අපි මේ නිහඩ උද්ඝෝෂණය පවත්වන්නේ  මේ සිද්ධිය පිළිබදව නීතිය නිසි ලෙස ඉටුකරන්න කියා  උසාවියටවත් , පොලීසියටවත් බලකරන්නට නෙවෙයි.  මේ වන විට පොලිස්පති තුමා ඇතුලු නීතිය හසූරවන අය නීතිය නිසි ලෙස ඉටුකරමින් සිටිනවා අපි දකිනවා. ඒ පිළිබදව අපි සතුටුවෙනවා.”

“කිසිම ආකාරයකින්  අපේ රටේ  කිසිම  පුරවැසියෙකුට ශාරීරික මානසික හිංසනයක් ඇතිකරන්නට පොලිසියට  කිසිම අයිතියක් නැති බව ප්ර්රකාශ කරන්න තමයි අපි මෙහෙම රැස්වුණේ.”

“අද, පූජකතුමෙකුට මෙවැනි අවාසනාවන්ත සිද්ධියකට මුහුණපාන්න සිදුවුණා නම්, ඉදිරි කාලයේදී රටේ පුරවැසියන්ට කුමන තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදුවෙයි ද කියාලා හිතාගන්න බැහැ. ඒ නිසා තමයි අපි නිහඩ විරෝධතාවකින් හරි අප‌ෙග් විරෝධය පළකලේ” යැයි ජුඩ් ක්‍රිෂාන්ත පියතුමා මාධ්‍යයට පැවසීය.

“මින් ඉදිරියට ආගමීක නායකයෙකුට පමණක් නෙවෙයි , කිසිම පුරවැසියෙකුට මෙවැනි අකාරයේ ශාරීරික, මානසීක හිංසනයක් සිදුකරන්න පොලිසියට කිසිසේත් ඉඩ නොතබන ලෙසට අපි ආගමීක නායකයින් ලෙසට ජනාධිපතිතුමන්  නීතිය හසුරවන සියලුම දෙනාට ආරක්ෂක අංශවලට කියා සිටිනවා, අපේ රට නිවරැදි මාවතක ගමන් කරන්න නම් මෙවැනි වැරදි වැඩ නවතින්න අවශ්‍යයි. ”

“මේ පහරදීම සිදුකළ පොලිස් නිළධාරීන්ට නීතිය තදින් ක්රියාත්මක කරලා, දැඩි දඩුවම් ලබාදෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මෙසේ ඉල්ලා සිටින්නේ එවුන් කෙරෙහි ඇති වෛරයකින් නොවෙයි, නමුත් ඒ දඩුවමි හරහා ඔවුන්ට ඒත්තු ගන්වන්න ඔ්නේ අපේ රටේ මිනිස්සුන්ට නිසි ගරුත්වයක් ඇතිව ජීවත්විය යුතුයි කියලා. ඒ වගේම,  පියතුමෙක් බව දැක දැකත් මෙවැනි පහරදීමක් සිදුකළේ ඇයි කියලා අපිට දැන්ගන්නත් අවශ්‍යයි” යනුවෙන් ජුඩ් ක්‍රිෂාන්ත පියතුමා පැවසීය.

මිලාන් පියතුමාට පහරදීමේ චෝදනාවට ලක්වූ පොලිස් නිලධාරීන් හය දෙනෙකු , බ්‍රහස්පතින්දා (ජනවාරි 25) අලුයම මෙම පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊයේ (ජනවාරි 26) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු , ජනවාරි 29 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. එදිනම හඳුනාගැනීමේ පෙරට්ටුවක් පවත්වන ලෙසද අධිකරණය නියෝග කර තිබේ.

මේ අතර, සිද්ධියෙන් පසු පොලිස් නිලධාරීන් හය දෙනා සේවයෙන් අත්හිටුවා ඇති බව ද වාර්තා වේ.

“අපගේ සහෝදර පියතුමෙකුට එල්ල කළ මේ පහරදීම අපි දැඩිලෙස හෙළා දකිනවා. ඒ වගේම එතුමා සමග අපි සහෝදරාත්මකව ඉන්න බව පෙන්වන්ට අපි මේ ස්ථානයේ නිහඩව මේ උද්ඝෝෂණයේ යෙදෙනවා.” යැයි සදාසරණ නිකායේ  මාලති දසනායක පැවිදි සොයුරිය මොජෝ නිවුස් වෙත කීවේය.

“පැවිදි වුනත් , ගිහි වුනත් කවුරු හෝ මිනිස් ජීවිතයකට , නිරායුධ පුද්ගලයෙකුට මේ ආකාරයෙන් පහර දීම අපි හෙළාදකිනවා.” යැයි පැවිදි ස‌ොයුරිය පැවසීය.

අදාළ වීඩියෝව නරඹන්න  

– මෙලනි මානෙල් පෙරේරා

END/MMP/27012026

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *