ත්‍රිපෝෂවල හිඟයක් – හිරුණි ලක්ෂිකා

ගර්භනී මව්වරුන්ට සහ දරුවන්ට රජය විසින් නොමිලේ ලබාදෙන ත්‍රිපෝෂ, ඇතැම් ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරි කාර්යාල වෙත මාස කිහිපයකින් ලැබී නොමැති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් ඉල්ලු‍මට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි වීම නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක කියා සිටියේ ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩ ඉරිඟු‍‍ තොග ප්‍රමාණවත් පරිදි නොලැබීම මීට හේතුව බවයි.

2024 වර්ෂයේදී බඩ ඉරිගු මෙට්‍රික් ටොන් 4800 ක් ආනයනයට ඉල්ලු‍ම් කළද ඊට අවසර නොලැබුණු බවත් මෑතකදී ඒ සඳහා අවසර ලැබුණු බවත් සභාපතිවරයා ප්‍රකාශ කළා.

ඉන් බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 2000 ක් කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබෙන තුරු සති 3 කට අධික කාලයක් රේගුවේ සිර වී ඇති බවයි වාර්තා වන්නේ.

ඉල්ලු‍ම් කළ ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 300 ක් පමණක් තම සමාගම වෙත ලැබුණු බවත්, ඉල්ලු‍මට සරිලන පරිදි ත්‍රිපෝෂ නිෂ්පාදනයට එය ප්‍රමාණවත් නොවන බවයි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපතිවරයා පැවසුවේ.

කෙසේ වෙතත්, මේ වන විට බස්නාහිර පළාතේ පිහිටා ඇති සියළු ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරි කාර්යාල වෙත සහ රත්නපුර, කෑගල්ල, පුත්තලම යන දිස්ත්‍රික්කවල පිහිටි ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරි කාර්යාල වෙත අවශ්‍ය ත්‍රිපෝෂ ප්‍රමාණය යොමුකර ඇති බව සදහන්.

නිෂ්පාදනය කර ඇති ත්‍රිපෝෂ බෙදා හැරීමේදී ගැටලු ද මතුවී ඇති අතර, ප්‍රවාහනය සඳහා ලොරි රථ ප්‍රමාණවත් තරමින් නොමැති වීම ඊට හේතු වී ඇති බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *