“ලෝගුකාරයෝයි, සිවුරුකාරයෝයි තමයි මේ රට නාස්තිකරන්නේ” පියතුමාට පහරදුන් පොලිස් නිළධාරීන් කියයි! කතෝලික සභාව මෙම පහරදීම හෙළාදකිනවා – ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා
“මිලාන් පියතුමා තමන් කතෝලික පූජකතුමෙකු යැයි ප්‍රකාශ කළ විට, ලෝගුකාරයෝයි , සිවුරුකාරයෝයි තමයි මේ රට නාස්තිකරන්නේ” යැයි පියතුමාට පහරදුන් පොලිස් නිළධාරීන් ප්‍රකාශකර ඇත. එතුමා පියතුමෙකු බව හොඳින්ම දැන සහ හඳුනාගෙනම මෙම පොලිස් නිලධාරීන් පිරිස එම පියතුමාට මෙලෙස පහරදී තිබෙනවා.” මෙම සිද්ධිය, කතෝලික සභාව දැඩි ලෙස හෙළාදකින බවත් , සිද්ධිය නීතිය හමුවට ගෙනයන බවත් කොළඹ අගරදගුරු පදවි, ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂක/මාධ්‍ය ප්‍රකාශක ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා මෝජෝ පුවත්වෙත ප්‍රකාශ කළේය.
ඊයේ, එනම්, ජනවාරි 24 වන දා රාත්‍රීයේ දී (7.00 ට පමණ) ගම්පහ කිරිඳිවිට ප්‍රදේශයේදී පොලිස් නිළධාරීන් පිරිසකගේ පහරදීමකට ලක් වූ මිලාන් ප්‍රියදර්ශන පියතුමා මීගමුව මහ රෝහලේ නේවාසිකව ප්‍රථිකර ගන්නා අතර, කොළඹ පදවි සහයක රදගුරු මැක්සවෙල් සිල්වා හිමිපාණන් ඇතුලු පියවරු කිහිප දෙනෙකු අද දහවල් මීගමුව රෝහලට පැමිණ, මිලාන් ප්‍රියදර්ශන පියතුමාගේ තත්ත්වය නිරික්‍ෂණය කර, සිදුවීම පිළිබව නිවරැදි තතු විමසා සිටියහ.
මිලාන් ප්‍රියදර්ශන පියතුමා හමුවීමෙන් අනතුරුව, කොළඹ අගරදගුරු පදවි, ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂක/මාධ්‍ය ප්‍රකාශක ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා රෝහල් පරිශ්‍රයේ සිට මාධ්‍ය වෙත සිදුවීම පිළිබදව අදහස් දැක්වූහ.
තවද, මෝජෝ පුවත්වෙත අදහස් දක්වමින් පහරදීම සිදුකර තිබූ ආකාරය පිළිබව ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා මෙසේ කීවේය. “මිලාන් ප්‍රියදර්ශන පියතුමාගේ සිරුරේ තැලුම් පහරවල් කිහිපයක් ම තිබෙනවා. පියතුමා පැළඳ සිටි ආරක්ෂිත හිස් වැසුම (හෙල්මට් එක) ගැලවූ සැණින් , හිස්වැස්මෙනුත් පියතුමාට පහර දීලා. ඊට පස්සේ කණ ප්‍රදේශයටත් පහර දී තිබෙනවා. එවිට පියතුමාගේ උපැස්යුවල ඉවතට විසි වී ගොස් තිබෙනවා. උන්වහන්සේට පා පහරවල් කිහිපයක්ම ගසා තිබෙන අතර හැඳ සිටි ලෝගුවේද ඔවුන්ගේ සපත්තු පා සටහනක් තිබෙනවා.” යැයි පියතුමා පැවසීය.
“මිලාන් ප්‍රියදර්ශන පියතුමා ඊයේ රාත්‍රීයේ දී දිප්පිටිගොඩ දේවස්ථානයේ දිව්‍ය පූජාව සිදුකරලා ආපසු එමින් සිටියදී නුවර පාරේ යම් ස්ථානයකදී විරුද්ධ දිශාවෙන් යතුරුපැදි 03 කින් පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් යළිත් පියතුමා පිටුපසින් හඹා ඇවිත් “නවත්තපන් සයිකලේ උඹට අපි නවතින්න කිව්වා, උඹ නැවැත්තුවේ නැහැ” යනුවෙන් තර්ජනාත්මකව කියා තිබෙනවා. නමුත්, එවැනි විධානයක් කළ බවක් තමන් නොදුටු බව තමයි උන්වහන්සේ කීවේ යැයි , ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා ප්‍රකාශ කළේය.
පහර දීමට අමතරව, “උඹ වාහනයක් හප්පගෙන නේද ආවේ ” යනුවෙන් බොරු චෝදනාවකුත් ගොණුකරන්න උත්සාහා ගත් පොලිස් පිරිස, පියතුමන් එය ප්‍රතික්ෂේප කළ විට “අපරීක්ෂාකාරී ලෙස යතුරුපැදිය ධාවනය කළ බව පවසා , ඒ වරදට දඩ කොළයක් ලිවිය යුතුයි යනුවෙන් ද පියතුමාට තර්ජනය කර ඇති බව ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා කීවේය.
කෙසේවෙතත්, මිලාන් ප්‍රියදර්ශන පියතුමාට ඉතාම අසාධාරණ ලෙස, කිසිම හේතුවක් නැතිව පහරදීම පිළිබඳව, අපි මෙි සිද්ධිය නීතිය ඉදිරියට ගෙනයනවා. යතුරුපැදි වලින් පැමිණි පොලිස් නිළධාරීන් 06 දෙනාගෙන් පියතුමාට පහර දුන් සිව් දෙනාත්, පහරදෙන දෙස බලාගෙන සිටී ඉතිරි පොලිස් නිළධාරීන් දෙදෙනාත් අද උදැසන අත්අඩංගුවට ගෙන තිබුණා.” යැයි කොළඹ පදවි මාධ්‍ය ප්‍රකාශක ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා මෝජෝ පුවත් වෙත ප්‍රකාශ කළේය.
මිලාන් ප්‍රියදර්ශන පියතුමාට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ පොලිස් නිලධාරීන් හයදෙනා අද (25) ගම්පහ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, හෙට (26) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව පොලිසිය නිවේදනය කළේය.
ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් සැරයන්වරු තිදෙනෙක් සහ කොස්තාපල්වරු තිදෙනෙක් ,මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කළ පොලිස් නිළධාරීන් වෙති.

– මෙලනි මානෙල් පෙරේරා
පිංතූර – අන්තර්ජාලයෙන්
