ලොව ප්‍රථම පූර්ණ AI නීති පද්ධතිය එයි – පහන් සිතුමිණ
කෘතිම බුද්ධිය (AI) ක්ෂේත්රය පිළිබඳ විශ්වාසය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීමේ අරමුණින්, දකුණු කොරියාව විසින් ලොව ප්‍රථම පරිපූර්ණ AI නීති මාලාව හඳුන්වා දී තිබෙනවා.
ලොව ප්‍රමුඛතම AI බලවතුන් තිදෙනා අතරට පැමිණීමේ අරමුණින් දකුණු කොරියාව මෙම නව ‘AI මූලික පනත’ අද (22) හඳුන්වා දුන්නා.
මෙම නීති මාලාව යුරෝපා සංගමයේ AI පනතට වඩා කලින්, සම්පූර්ණයෙන්ම බලාත්මක කර තිබෙනවා.
යුරෝපා සංගමයේ නීති 2027 දක්වා අදියර කිහිපයකින් ක්‍රියාත්මක වීමට නියමිතයි.
කෙසේ වෙතත්, මෙම නීතිරීති පිළිපැදීම තම ව්‍යාපාරවල දියුණුවට බාධාවක් විය හැකි බවට එරට නවක ව්‍යාපාර කනස්සල්ල පළ කරනවා.
එමෙන්ම මෙම නීතිවල අඩංගු භාෂාව අපැහැදිලි බවටද ඔවුහු මැසිවිලි නගනවා.
නව නීති යටතේ ඉහළ බලපෑමක් සහිත AI ක්ෂේත්‍ර සඳහා මානුෂීය අධීක්ෂණය අනිවාර්යයි.
මේ යටතට න්‍යෂ්ටික ආරක්ෂාව, පානීය ජලය නිෂ්පාදනය, ප්‍රවාහනය, සෞඛ්‍ය සේවය, ණය ඇගයීම් සහ ණය පරීක්ෂා කිරීම් වැනි මූල්‍ය භාවිතයන් යන ක්ෂේත්‍ර ඇතුළත්.
මීට අමතරව, ජනනය කරන හෝ ඉහළ බලපෑමක් සහිත AI භාවිතා කරන නිෂ්පාදන හෝ සේවා පිළිබඳව පරිශීලකයින්ට කල්තියා දැනුම් දිය යුතුයි.
AI මගින් නිර්මාණය කරන ලද දේවල් සැබෑ දේවලින් වෙන්කර හඳුනා ගැනීමට අපහසු අවස්ථාවලදී ඒ බව පැහැදිලිව සටහන් කළ යුතුයි.
AI නියාමනය සම්බන්ධයෙන් ලෝකය පුරා විවිධ මත පවතිනවා.
ඇමරිකා එක්සත් ජනපදය නවෝත්පාදනයන් අඩාල වීම වැළැක්වීම සඳහා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව සඳහන්.
චීනය ඇතැම් නීති හඳුන්වා දී ගෝලීය නියාමනය සම්බන්ධීකරණය කිරීම සඳහා මණ්ඩලයක් පිහිටුවීමට යෝජනා කර තිබුණා.
