24 දා සිට දියතලාව රාජ්‍ය ඔසුසල නව පරිශ්‍රයක

දියතලාව රාජ්‍ය ඔසුසල නව මුහුණුවරකින්, ඉඩපහසුකම් සහිතව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් නව පරිශ්‍රයක  මෙම මස  24 වනදා සිට ස්ථාපිත කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) තීරණය කර ඇත. ඒ අනූව යහලබැද්ද පාර, දියතලාව යන ලිපිනයේ රාජ්‍ය ඔසුසල ස්ථාපිත කෙරෙනු ඇත.

මේවන විට පවත්වාගෙන යනු ලබන ඔසුසල් පරිශ්‍රයේ ඉඩකඩ පහසුකම් මෙන්ම වාහන නැවැත්වීමේ පහසුකම් ප්‍රමාණවත් නොවීම මත සංස්ථාවට අයත් භූමී පරිශ්‍රයක ස්ථාපිත කිරීමට කළමණාකාරිත්වය තීරණය කර ඇත.  නව ස්ථානය දියතලාව ප්‍රදේශයේ වෙසෙන ජනතාවට පහසුවෙන් ප්‍රවේශවිය හැකි, ඉඩකඩ පහසුකම් මෙන්ම රථවාහන වැඩි ප්‍රමාණයක් නැවැත්වීමේ  පහසුකම් සහිත ස්ථානයක් වේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සංකල්පයක් මත ජනතා අවශ්‍යතාවය පරිදි දිවයින පුරා රාජ්‍ය ඔසුසල් ශාඛා ස්ථාපිත කිරීමේ විශේෂ වැඩපිළිවෙළට සමගාමීව වත්මන් රජය බලයට පත්වීමෙන් පසු නව රාජ්‍ය ඔසුසල් පහක්  ආරම්භ කෙරුණු අතර මේවන විට  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC)  රාජ්‍ය ඔසුසල් ජාලය 68 ක් දක්වා  දීපව්‍යාප්ත වී  ඇත.

ගුණාත්මක ඖෂධ ජනතාවට දැරිය හැකි, සාධාරණ මිලකට ලබාදීමේ උදාර පරමාර්ථය පෙරදැරිව  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC)  රාජ්‍ය ඔසුසල් අවශ්‍යතාවය පරිදි ස්ථාපිත කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කටයුතු කරනු ලබයි.

රාජ්‍ය ඔසුසල මගින් පළපුරුදු ඖෂධවේදීන්ගේ සේවාව යටතේ, නියම ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට මිල දී ගැනීමට ජනතාවට හැකියාව ලැබෙන අතර, ඡ්‍යෙෂ්ඨ පුරවැසියන්, ගර්භනී මවුවරුන්, වයස අවුරුදු 05 ට අඩු දරුවන් සඳහා සහ  රණවිරු විරුසර කාඩ්පත් හිමියන් සදහා 5% ක සුවිශේෂි වට්ටමක් සහිතව ඖෂධ නිකුත් කිරීම ද විශේෂත්වයකි.

SPC ඖෂධ, නවීන තාක්‍ෂණ උපකරණ යොදා ගනිමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ තත්ත්ව රසායනාගායේ දී අවස්ථා හතරක දී ම පරීක්ෂාවට ලක්කීරීමෙන් පසු රාජ්‍ය ඔසුසල් වෙත යොමු කරන බැවින් ජනතාවට විශ්වාසයෙන් යුතුව ඖෂධ ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ශ්‍රී ලාංකීය ජනතාවට උසස් තත්වයෙන් යුත් ප්‍රත්‍යක්ෂ ඖෂධ සාධාරණ මිලට ලබාදීමේ ප්‍රමුඛ අරමුණින් මහාචාර්ය සේනක බිබිලේ මහතා විසින්  1971 වර්ෂයේ දී ආරම්භ කළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වසර 54 කට අධික කාලයක් මෙරට ජනතාවට ගුණාත්මක ඖෂධ සාධාරණ මිලට සැපයීම සිදුකරයි.

මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාරීත්වය සහ  නිලධාරීන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්,   දියතලාව ප්‍රදේශයේ වෙළද ව්‍යාපාරකයින් ඇතුළු බොහෝ පිරිසක් එක්වීමට නියමිත ය.

END/GONP/MMP/22012026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *