ආනයනය කිරීමට අවසර ලැබීමෙන් පසු වාහන ලක්ෂ 4 1/2ක් ගෙන්වලා – පහන් සිතුමිණ

මෙරටට නැවත වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමෙන් පසු 2025 පෙබරවාරි මාසයේ සිට මේ දක්වා වාහන හාරලක්ෂ පනස් එක්දහස් හත්සිය හැත්තෑවක්(451770) ආනයනය කරඇති බව අද (20) දින පාර්ලිමේන්තුවේදී හෙළිවුණා.

මෙම වාහන සංඛ්‍යාවට මෝටර් රථ 115000ක් යතුරු පැදි 313999 ක් ත්‍රී රෝද රථ 22407ක් ඇතුළත් වන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ විපක්ෂය නියෝජනය කරන නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

නැවත වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමෙන් පසු ගෙන්වා ඇති වාහන සංඛ්‍යාව, එම වාහන ගෙන්වීම නිසා ලැබුණු සමස්ථ ආදායම පිළිබඳවද තොරතුරු විමසු මන්ත්‍රිවරයා ඉල්ලා සිටියේ වාහනවලට ක්‍රියාත්මක කරන 3% රැඳවුම් බද්ද ඉවත් කර එහි සහනය වාහන හිමියන්ට ලබාදෙන ලෙසයි.

වාහන ආනයනය කිරීමෙන් රුපියල් බිලියන 441 ක මුදලක් බලාපොරොත්තු වූ බවත් රුපියල් බිලියන 904ක ආදායමක් ලැබී තිබෙන බවත් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කරනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ 3% රැදවුම් බද්ද ක්‍රියාත්මක වන්නේ විදේශ විනිමය ඉතිරි කරගැනීම සදහා උපක්‍රමයක් වශයෙන් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *