බාලදක්‍ෂ මාවත ගුවන් පාලම ජනතා අයිතියට පත් කෙරේ!
“බාලදක්‍ෂ මාවත” ගුවන් පාලම ඉදිකිරීම් කටයුතු අවසන් කර ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) ජනතා අයිතියට පත් කෙරිණි.
කොළඹ නගරය ආශ්‍රිතව පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා සැලසුම් කරන ලද ගුවන් පාලම් ව්‍යාපෘතියේ තුන්වන ගුවන් පාලම ලෙස ‘බාලදක්‍ෂ මාවත’ ගුවන් පාලම ඉදි කෙරිණි. ගාලු මුවදොර සිට කොම්පඤ්ඤවීදිය චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත දෙසට පමණක් ගමන් කිරීමට හැකි පරිදි ඉදිකර ඇති මෙහි දිග මීටර් 340 කි. පළල මීටර් 11 කි.
” හොරකම් කරලා, නාස්ති කරලා රට විනාශ කරපු නිසා, රට බංකොලොත් කරපු නිසා ඇතිවෙච්ච ආර්ථික අපරාධවල ශාපයට රටට ම මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙනවා. අපි ඒ අභියෝග මැඩගෙන, හොරකමින්, දූෂණයෙන් තොරව සංවර්ධන කටයුතු ඉදිරියට ගෙනයනවා.’
‘බාලදක්‍ෂ මාවත’ ගුවන් පාලම ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා මෙම අදහස් පළ කළේය.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් දියත්කර ඇති තිරසර මාර්ග සංවර්ධන වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් මෙම ගුවන් පාලම ඉදිකරන ලදී.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා,
” කොළඹ නගරයේ ඉතාමත්ම කාර්ය බහුල ව්‍යාපාරික ස්ථාන, ජනාධිපති ලේකම් කාර්යාලය, හෝටල් විශාල සංඛ්‍යාවක් මේ ආශ්‍රිතව පිහිටා තිබීම නිසා මේ ස්ථානය සැලකිය යුතු මාර්ග තදබදයක් පැවති ස්ථානයක්. එම රථවාහන තදබදයට පිළියම් ලෙස ගුවන් පාලම් තුනක් ඉදිකරන්න මීට වසර කිහිපයකට කලින් සැළසුම් කරලා තිබෙනවා. එයින් ගුවන් පාලම් දෙකක වැඩ නිමකර තිබෙනවා. මේ ගුවන් පාලම 2022 වසරේදී වැඩ නිමකරන්න සැලසුම් කර තිබූ එකක්. නමුත් ආර්ථික අර්බුධය සහ වෙනත් කාරණා නිසා මෙම පාලමේ ඉදිකිරීම් බොහෝ කාලයක් ප්‍රමාද වුණා. පොලිස්පතිතුමා සමග අපි සිදුකරපු ක්‍ෂේත්‍ර පරීක්‍ෂණයේ ප්‍රතිඵලයක් හැටියට පොලිස් නිල නිවාස සම්බන්ධයෙන් පැවති ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාගෙන ඉදිකිරීම් වේගවත් කරන්න හැකිවුණා.
රුපියල් මිලියන 2,700 කින් මීට අවුරුදු තුනකට කලින් ඉදිකරන්න තිබූ ගුවන් පාලමට ඉදිකිරීම් ප්‍රමාදය නිසා අමතරව තවත් රුපියල් බිලියනයක් වැය කරන්න සිදුවුණා. මේ ගුවන් පාලමේ ඉදිකිරීම් අවසන් කිරීම ජනතාවට විශාල පහසුවක් වගේම ප්‍රයෝජනයක්. මෙහි ඉදිකිරීම් කඩිනමින් නිම කිරීමට සහයෝගය ලබාදුන් පොලිස් දෙපාර්තමේන්තුවටත් මාර්ග සංවර්ධන අධිකාරියටත් ස්තුතිය පළ කරනවා.’
මෙම අවස්ථාවට කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයින් රැසක් ද මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන්, අධ්‍යක්‍ෂ ජනරාල් (රා. ඉ.) එච්. එච්. එන්. ඒ. හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුළු නිලධාරීහු සහ පොලිස් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් උසස් නිලධාරීහු රැසක් ද එක්ව සිටියහ.
