ඉරානයට තේ අපනයනය කිරීම අඩුවෙයි – නිෂිකා හංසනී

ඉරානයේ පවතින දේශපාලනික අස්ථාවරත්වය සහ අමෙරිකානු සම්බාධක පිළිබඳ පවතින බිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ අපනයනකරුවන් දැඩි ප්‍රවේශම්කාරී පිළිවෙතක් අනුගමනය කරමින් සිටිනවා.

මේ හේතුවෙන් පසුගිය සතිය තුළ ඉරානය වෙත තේ යැවීම් සැලකිය යුතු ලෙස සීමා වී ඇති බවයි වාර්තා වන්නේ.

ඉරානයට අපනයනය කරන තේ වර්ග සඳහා කොළඹ තේ වෙන්දේසියේදී පැවති මිල ගණන් සීඝ්‍රයෙන් පහත වැටී තිබෙනවා.

අපනයනකරුවන් තොග රැස් කිරීමට මැලි වීම මෙයට හේතුවයි.

ඉරානය සමග ගනුදෙනු කරන ඕනෑම රටකට අමෙරිකාව සමග වෙළඳාම් කිරීමේදී 25%ක අතිරේක බද්දක් පනවන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය මෙම තත්ත්වය තවත් උග්‍ර කර තිබෙනවා.

ඉරානයට තේ ලබා දී ලංකාව ලබාගත් ණය පියවීමේ ක්‍රමය (Tea-for-Oil Barter) අමෙරිකානු සම්බාධකවලට යටත් නොවනු ඇති බවට බලධාරීන් විශ්වාසය පළ කරනවා.

මෙහිදී ජාත්‍යන්තර මුදල් ගනුදෙනු සිදු නොවන බැවින් එය “ණය පියවීමක්” ලෙස සැලකෙන බව ඔවුන්ගේ මතයයි.

මෙම ක්‍රමය යටතේ ලංකාව ඉරානයට ගෙවිය යුතු පැරණි ඉන්ධන ණය පියවනු ලබන්නේ මුදල් වෙනුවට තේ ලබා දීමෙනි.

මෙහිදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) තේ වෙනුවෙන් ගෙවිය යුතු මුදල් රුපියල්වලින් ශ්‍රී ලංකා තේ මණ්ඩලයට ලබා දෙන අතර තේ මණ්ඩලය එම මුදලින් මෙරට තේ අපනයනකරුවන්ට ගෙවීම් සිදු කරයි.

ඉරානයේ තේ ආනයනකරුවන් එම තේ සඳහා වන මුදල් (රියාල්වලින්) එරට ජාතික තෙල් සමාගමට ගෙවනු ලබයි.

දෙරට අතර ඩොලර් හෝ වෙනත් ජාත්‍යන්තර මුදල් හුවමාරුවකින් තොරව ණය පියවීම සිදුවන්නේ ඒ අයුරින්.

මේ අනුව වාර්ෂිකව ශ්‍රී ලංකාව ඉරානය වෙත තේ කිලෝග්‍රෑම් මිලියන 10ක් පමණ අපනයනය කරනු ලබනවා.

මෙය මෙරට සමස්ත තේ අපනයනයෙන් (කිලෝග්‍රෑම් මිලියන 250) කුඩා ප්‍රමාණයක් වුවද, දිගුකාලීනව මෙම වෙළඳපොළ අහිමි වීම මෙරට තේ කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed