ආපදාවෙන් විපතට පත්ව නිවාස අහිමිවූ වතුකර ආශ්රිත ජනතාව සඳහා තාවකාලික නිවාස ලබාදීමට සැලසුම් – නදීක දයා බණ්ඩාර
ආපදාවෙන් විපතට පත්ව නිවාස හානිවූ වතුකරයේ ජනතාව සඳහා ඉදිරි මාස කිහිපය තුළදී තාවකාලික නිවාස සකස් කර දීමේ වැඩසටහනක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් සැලසුම් කොට තිබේ.

රජය ක්‍රියාත්මක කරන ස්ථිර නිවාස ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන තුරු පීඩාවට පත්ව සුරක්ෂිතා මධ්‍යස්ථාන සහ කූඩාරම්වල සිටින ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තාවකාලික නිවාස ලබා දෙන බව එම අධිකාරියේ සභාපති අරවින්ද සිරිනාථ මහතා පැවසුවේය.
නිවාස ඉදිකිරීම සඳහා ක්ෂේත්‍ර අධ්‍යනයක් සහ පීඩාවට පත් ජනතාවගේ අදහස් සහ නිවාස සම්බන්ධ යෝජනා ලබාගැනීමේ වැඩසටහනක් මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අගුරුවැල්ල, වෛතලාව, තංගප්පුව සහ අලුත්වත්ත යන ස්ථානවලදී ඊයේ (18) පැවැත්විණි.
වතු ආශ්‍රිතව ජීවත්වන ජනතාව මේ වන විට දැඩි පීඩාවට පත්වී ඇති බවත් වතු නිවාස අහිමිවීම නිසා බොහෝ පිරිසක් කූඩාරම්වල ජීවත්වන බැවින් ඔවුන් ආරක්ෂා කර ගැනීම සිය වගකීමක් වන සභාපතිවරයා කීවේය. එබැවින් ජනතා අදහස් ද ලබා ගනිමින් මෙම නිවාස ඉදි කරන බවත් ස්ථිර නිවාස ඉදිවන තෙක් මාස තුනක් වැනි කාලයක් තුළදී තාවකාලික නිවාස ලබාදීම සිදුකරන බව ද හෙතෙම සඳහන් කළේය.
ආපදා හේතුවෙන් නිවාස 6010ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවත් තවත් නිවාස එක්ලක්ෂ දස දහසක් අර්ධ හානියට පත්ව ඇතැයි කී ඒ මහතා පූර්ණ හානි සිදුවූ අයට මෙන්ම අර්ධ හානි සිදුවූ සැලකිය යුතු පිරිසකට ද යළි සිය මුල් ස්ථාන වෙත යාමට නොහැකි යැයි කීවේය. 
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ මත සුදුසු ඉඩම් මේ සඳහා යොදා ගන්නා බව කී ඒ මහතා ඉදි කළ යුතු නිවාස සංඛ්‍යාව පිළිබඳ නිවරැදි දත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබා ගන්නා බව ද සඳහන් කළේය.
නිවාස ඉදිකිරීම සඳහා අමුද්‍රව්‍ය සම්පාදනයෙන් විදේශ රටවල් උපකර කිරීමට සුදානම් යැයි කී ඒ මහතා ඉදිකිරීමට නියමිත ස්ථිර නිවාස සඳහා ඒ ඒ ප්‍රදේශවලට උචිත නිවාස සැලසුම් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ද තව දුරටත් ප්‍රකාශ කළේය.
මැදදුම්බර සහකාර ප්‍රාදේශීය ලේකම් ඩබ්ලියු.එම්.සී.එන්.කේ.වික්‍රමසිංහ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ගීතානී අටුපොලගේ, එම අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් කළමණාකාර අනිල් ප්‍රියන්ත යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම ස්ථානීය පරීක්ෂණය සඳහා සහභාගීවූහ.
