ව්‍යාජ පොලිස් නිල ඇඳුමෙන් සිටි කත රිමාන්ඩ් – නිෂිකා හංසනී

පොලිස් පරීක්ෂක ක්‍රීඩා නිල ඇඳුමකින් සැරසී ගිනි අවියක් ද අතැතිව පිටකොටුවේ ලැගුම්හලක් අසල සැකකටයුතු ලෙස ගැවසෙමින් සිටි කාන්තාවක් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඇය පොලිස් පරික්ෂකවරියක ද නොවන අතර ඇය සතුව තිබී ඇත්තේ ලී වලින් සෑදූ ව්‍යාජ ගිනි අවියක් බවයි.

කොළඹ, පිටකොටුවේ ලැගුම්හලක් අසල සැකකටයුතු ලෙස ගැවසෙමින් සිටි කාන්තාවක් සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් ඇය අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.

එම අවස්ථාවේ ඇය පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ ක්‍රීඩා නිල ඇඳුමක් හැඳ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් ද සන්තකයේ තබාගෙන සිටි බවයි පොලිසිය පැවසුවේ.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අදාළ ගිනි අවිය ලී වලින් සෑදූ ව්‍යාජ ගිනි අවියක් බවයි.

පොලිස් නිලධාරීන් ඇගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඇය පවසා ඇත්තේ තම ජාතික හැඳුනුම්පත සහ රියැදුරු බලපත්‍රය අස්ථානගත වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියේ පැමිණිල්ලක් කර ඇති බවයි.

ඊට අදාළ කුවිතාන්සියක් ද පොලිසිය වෙත ඇය ඉදිරිපත් කර ඇති නමුත් පසුව ඇයව පරීක්ෂා කිරීමේදී ඇගේ ජාතික හැඳුනුම්පත හමුවී තිබෙනවා.

ඇයගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ පුද්ගලයින්ට විදෙස් රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබාගෙන කුරුණෑගල ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයකට ලබාදී ඇති බවයි.

එම ආයතනයට එම පුද්ගලයින්ව විදෙස්ගත කිරීමට නොහැකිවී ඇති අතර, මුදල් දුන් පුද්ගලයින්ගෙන් තර්ජන එල්ලවීමේදී තමන් ඔවුන්ගෙන් වසන් වී කොළඹින් රෙදිපිළි මිල ගෙන අලෙවි කිරීමේ නිරත වූ බවත් ඇය පවසා තිබෙනවා.

කෙසේවෙතත් මෙම කාන්තාව යම්කිසි අපරාධයක් සිදුකිරීම සඳහා මෙලෙස සිටියාද යන සැකය මත අත්අඩංගුවට ගැනුණු අතර, ඇය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed