‘ජාතික නිවාස වැඩසටහන – 2026’ සමාරම්භක උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් අද යාපනයේදී!

අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කරන ‘ජාතික නිවාස වැඩසටහන – 2026’ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) යාපනය, චාවකච්චේරිය මිසාලෛ වීරසිංහම් ප්‍රාථමික විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

මෙම වැඩසටහන යටතේ රටපුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 13,347ක් ඉදිකිරීමට නියමිත අතර, නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ තවත් නිවාස 18,229ක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. එමෙන්ම රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ද නිවාස 1,000ක් ඉදිකිරීමට නියමිතය.

ඉන්දීය නිවාස ආධාර ව්‍යාපෘතිය යටතේ නිවාස 1,254ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, එක් නිවසක් සඳහා ඉන්දීය නිවාස ව්‍යාපෘතියෙන් රුපියල් ලක්ෂ 10ක් සහ ශ්‍රී ලංකා රජය විසින් රුපියල් ලක්ෂ 02ක් ලෙස එකතුවෙන් රුපියල් ලක්ෂ 12ක් වියදම් කිරීමට නියමිත බව සඳහන් වේ.

තවද උතුරු සහ නැගෙනහිර යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා නිවාස 2,500ක් ඉදිකිරීමට ද සැලසුම් කර ඇත.

“තමන්ගේ තැනක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ 2026 වසර තුළ මෙම වැඩසටහන හරහා සමස්ත නිවාස 31,318ක් ඉදිකිරීමට නියමිත බව නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පැවසීය.

END/GONP/MMP/16012026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *