2026දීත් දවසට පීරියඩ් 08යි: කාල සටහනුත් පෙර පරිදිම – හිරුණි ලක්ෂිකා

2026 වසරේ පාසල් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

2026 ජනවාරි 13 දින පැවැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව, 2026 ජනවාරි 21 දින සිට ආරම්භ වන පාසල් අධ්‍යාපන කටයුතු පහත පරිදි සිදු කිරීමට තීරණය කර ඇති බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

2026 වර්ෂයේ දී 1 ශ්‍රේණියට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාල විෂය මාලාවේ විධිමත් අධ්‍යයන කටයුතු පෙර උපදෙස් ලබාදුන් පරිදි ම 2026 ජනවාරි 29 දින ආරම්භ කරන බවත් එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම 6 ශ්‍රේණිය සඳහා හඳුන්වාදීමට නියමිත නව විෂය නිර්දේශය ක්‍රියාත්මක කිරීම 2027 වර්ෂය දක්වා කල් දමන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

2026 වසර තුළ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා, දෛනික කාල පරිච්ඡේද සංඛ්‍යාව අටක් (08) ලෙස සංශෝධනය කළ යුතු අතර, එක් කාලඡේදයක් විනාඩි 40ක් විය යුතු බවත් ඒ අනුව, පෙර වසරවල ක්‍රියාත්මක වූ ආකාරයට ම කාලසටහන් සකස් කළ යුතු බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

6 ශ්‍රේණිය සඳහා පෙර වර්ෂවල දී ක්‍රියාත්මක වූ විෂය නිර්දේශය ම 2026 වර්ෂය සඳහා ද ක්‍රියාත්මක කළ යුතු අතර 6 ශ්‍රේණිය සඳහා පසුගිය වසරේ සිසුන් භාවිත කළ පෙළපොත් ප්‍රධාන වශයෙන් ම භාවිතයට ගනිමින් අධ්‍යාපන කටයුතු සිදු කළ යුතු බවත් එහි සඳහන්.

පසුගිය වසරේ භාවිත කළ පෙළපොත් සිසුන් වෙතින් එකතු කර, ඒවා නැවත 6 ශ්‍රේණියේ සිසුන් වෙත බෙදා හැරීම සම්බන්ධ උපදෙස් සියලු විදුහල්පතිවරුන් වෙත නිකුත් කරන බවයි ලේකම්වරයා මෙහිදී පවසා සිටින්නේ.

අවශ්‍ය වන ප්‍රමාණයට පමණක් නව පෙළපොත් හැකි ඉක්මනින් මුද්‍රණය කර බෙදා හැරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් 2026 වසරේ දී 6 ශ්‍රේණිය සඳහා භාවිත කළ යුතු පෙළපොත් සඳහා අදාළ මෘදු පිටපත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ‘e-තක්සලාව’ වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කරන බවත් එම නිවේදනයේ සඳහන්.

නව ප්‍රතිසංස්කරණයන්ට අදාළ මොඩියුල පිළිබඳ නියමු ව්‍යාපෘතියක් මෙම වසරේ දී පළාත් කිහිපයක ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර, ඒ පිළිබඳ විස්තර පසුව දැනුම් දෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

6 ශ්‍රේණිය සඳහා පිළියෙල කරනු ලැබ ඇති මොඩියුල නැවත සමාලෝචනය කර ඉදිරි වර්ෂයේ දී සුදුසු පරිදි භාවිත කරන බවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට අදාළ ගුරු පුහුණු කටයුතු 2026 වසර පුරා අඛණ්ඩ ව ක්‍රියාත්මක කරන බවත් එම නිවේදනයේ සඳහන්.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත මානව සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, පරිපාලන සංශෝධන හා තක්සේරු ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සහ පුළුල් මහජන දැනුම්වත්කිරීම් යන ප්‍රවේශයන් 2026 වසර තුළ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් එම නිවේදනයේ සඳහන්.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට අදාළව මෙතෙක් සකස් කර ඇති සංකල්ප පත්‍රිකාව, විෂයමාලා රාමුව සහ සියලු මොඩියුල, විවෘත හා පුළුල් මහජන සංවාදයක් සඳහා මහජනතාව වෙත විවෘත කරන බවයි ලේකම්වරයා මෙහිදී පවසා සිටින්නේ.

මෙම කරුණු සම්බන්ධයෙන් වන චක්‍රලේඛය ඉතා ඉක්මනින් නිකුත් කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව වැඩිදුරටත් පවසා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *