හම්බන්තොට වරායේ වාහන 300ක් හිරවෙලා -රජයට බිලියන 4ක පාඩුවක් – හිරුණි ලක්ෂිකා

මෙරටට පෞද්ගලිකව ගෙන්වන ලද නවතම වාහන 300කට අධික ප්‍රමාණයක් මාස හයකට වැඩි කාලයක් තිස්සේ හම්බන්තොට වරායේ නිදහස් කරගත නොහැකිව සිරවී පවතින බව වාර්තා වනවා.

මෙම වාහන නිදහස් නොකිරීම නිසා රජයට ලැබීමට තිබූ රුපියල් බිලියන 4.5ක බදු ආදායමක් අහිමි වී ඇති බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වාහන හිමිකරුවෝ ප්‍රකාශ කළා.

වාහන හිමිකරුවන් පවසන පරිදි, ඔවුන් එක් අයෙකුට බදු, ප්‍රමාද ගාස්තු සහ අනෙකුත් අමතර ගාස්තු ලෙස රුපියල් මිලියන 10 සිට මිලියන 18 දක්වා විශාල මුදලක් ගෙවීමට සිදුව තිබෙනවා.

සෑම දවසකම මේ පිරිවැය ඉහළ යන බැවින් ඔවුන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බවයි පවසන්නේ.

මෙම ගාස්තු ගෙවීමට ඔවුන් සූදානම් වුවත්, රජයේ නව රෙගුලාසියක් පවතින බව පවසමින් වරාය හෝ රේගු බලධාරීන් එම ගෙවීම් භාර ගැනීමට හෝ වගකීමක් ගැනීමට ඉදිරිපත් නොවන බවද වාර්තා වනවා.

මෙම වාහන ජපානය සහ චීනය වැනි රටවලින් නීත්‍යානුකූලව, බැංකු හරහා ණයවර ලිපි (LC) විවෘත කර නිසි වේලාවට මෙරටට ගෙන්වා ඇති බව හිමිකරුවෝ අවධාරණය කරනවා.

මාස හයක් තිස්සේ වරාය තුළ අව්වට සහ වැස්සට නිරාවරණය වී තිබීම නිසා වාහන දිරාපත් වීම සහ බැටරි අක්‍රිය වීම වැනි විශාල හානි සිදුවිය හැකි බවට හිමිකරුවෝ සිය කනස්සල්ල පළකළා.

නීත්‍යානුකූලව අවශ්‍ය ඕනෑම මුදලක් ගෙවීමට තමන් සූදානම් වුවද, වාහන නිදහස් කරදීමට කිසිවෙකු ඉදිරිපත් නොවන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *