ආපදාවෙන් හානි වූ අලිවැටවල් සතියක් තුළ ප්‍රතිස්ථාපනය කරන්නැයි උපදෙස් – නිෂිකා හංසනී

දිට්වා සුළි කුණාටුවෙන් පසු හානි වූ සහ ප්‍රතිස්ථාපනය ආරම්භ කෙරෙනු අලි වැටවල්වල ප්‍රතිස්ථාපන කටයුතුවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පවත්වා තිබේ.

සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් අලිවැටවල් විශාල ප්‍රමාණයක් හානි වූ අතර වැඩි වශයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල වනජීවි කලාපයේ අලි වැටවල පූර්ණ හා අර්ධ හානි සිදුව තිබුණි.

එමෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හතකම අලි වැට හානියට පත්ව ඇත.

අලිවැට නඩත්තු කටයුතු සිදු කිරීම ශ්‍රම මෙහෙයුමක් ලෙස ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඔස්සේ කටයුතු සිදු කිරීමට මෙම ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු ව තිබේ.

ඒ අනුව මෙම සාමුහික ක්‍රියාදාමය සතියක් තුළ නිම කිරීමට පරිසර අමාත්‍යවරයා විසින් අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

පරිසර අමාත්‍යාංශයේ උපදෙස් පරිදි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් අලිවැට නඩත්තු සහයකයින්, සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම කටයුතු සිදු කෙරෙනු ඇති අතර එමෙන්ම මෙම ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාමීය කමිටු සහ ගොවි සංවිධාන එක්ව අලිවැට නඩත්තු කටයුතු සඳහා සහය දීමට එකඟ විය.

ඒ අනුව අලි වැට නඩත්තු කටයුතු මෙම සතිය තුළ ශ්‍රම මෙහෙයුමක් ලෙස කඩිනමින් සිදු කිරීමට අපේක්ෂිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed