ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනයට විශේෂ සන්නිවේදන වැඩසටහනක්!

“සුරක්ෂිත ළමා ලෝකයක්, නිර්මාණශීලී පරපුරක්” යන  තේමාවත් සමග ක්ලීන් ශ්‍රී ලංකා මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළාය.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය මේ බව පැවසුවේ ඊයේ  (07) දා, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වන සන්නිවේදන වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

සුරක්ෂිත ළමා ලෝකයක්, නිර්මාණශීලී පරපුරක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් ආචාර ධාර්මික ක්ෂේත්‍රය තුළ මෙරට ඉදිරි සමාජ සංවර්ධනය සඳහා මුල් ළමා විය කෙලෙස සංවර්ධනය විය යුතුද යන අරමුණ ඇතිව මෙම වැඩසටහන සම්බන්ධීකරණය කර ඇතැයිද අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

මේ සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මූලිකව කටයුතු කරන බවද සඳහන් කළාය. එමෙන්ම කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයත් උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයත් ඒකාබද්ධ වී ඇතැයිද පැවසුවාය.

මෙම සියලුදෙනාම ඒකාබද්ධ වී 2026 මුල් ළමාවිය සංවර්ධන විශේෂ වැඩසටහන ඇරඹීමට කටයුතු යොදා ඇතැයිද සඳහන් කළාය. එළඹෙන සෙනසුරාදා (10) පෙරවරු 09.30 සිට 12.30 දක්වා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයිද කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය පැවසුවාය.

එහිදී මුලු ලංකාව පුරාම සෞෟඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මගින් හඳුනාගත් සෞඛ්‍යාරක්ෂිත පෙර පාසල් එනම් සෞඛ්‍ය ප්‍රවර්ධන පෙර පාසල් හැටියට හඳුනාගත් පෙර පාසල්වල ගුරුවරුන් එකතු කරමින් එම ගුරුවරුන් සඳහා පළමු වටයේදී එළඹෙන 10 වනදා ගුරුවරුන් 900ක් සඳහා අවශ්‍ය කරන ඉගෙනුම් උපකරණ හා සම්පත් කට්ටලයක් බෙදාදීමට යෝජනා කරගෙන ඇතැයිද වැඩිදුරටත් සඳහන් කළාය.

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය මගින් එම අවශ්‍ය කරන සියලු කටයුතු සම්පාදනය කරමින් ඇතැයිද පැවසුවාය. මෙම දීප ව්‍යාප්ත වැඩසටහන තුළ 2026 ජනවාරි මාසයේදී මුල් ළමා විය සංවර්ධන ජාතික වැඩසටහන ඉලක්ක කර ඇතැයිද මේ සමගම කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයට විශාල ඉලක්කයක් ඇතැයිද පෙන්වා දුන්නාය.

මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව ජාතික ලේකම් කාර්යාලය කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයට අනුබද්ධිත ආයතනයක් ලෙස දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් සහ මුල් ළමාවිය සංවර්ධනයේදී අධ්‍යාපනය සහ පෙර පාසල් පිළිබඳව විශේෂ වගකීම් දරන ආයතනයක් ලෙස කටයුතු කරන බවද අවධාරණය කළේය.

END/GONP/MMP/08012026

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *