6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ අන්දෝලනයට පත් පාඩම ඉවත් කරන්න කටයුතු කරනවා!

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සංකල්ප පත්‍රිකාව පිලිබඳ සාකච්ඡා කිරීමට ඕනෑම අවස්ථාවක සූදානම්  බවත් ,එකී සංවාදය අනවශ්‍ය වෙබ් අඩවි ප්‍රචාරණය කිරීමට යොදා නොගත යුතු බවත්, 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ අන්දෝලනයට පත් පාඩම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අනුමැතිය හිමිව ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඊයේ (07) දා  පාර්ලිමේන්තුවේදී  නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියා ය.

එහිදී වැඩි දුරටත්  අදහස් දැක්වු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය –

සංකල්ප පත්‍රිකාව අධ්‍යාපන උපදේශන  සභාවේ සාකච්ඡාවට ගත්තා. ඒක සියලුම මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නත්, වෙබ් අඩවියට  ඇතුළත් කරන්නත් කටයුතු කර  තියෙනවා. ඒ පිළිබදව පාර්ලිමේන්තුව තුළ අපි සාකච්ඡා කළා.ඒ වගේම අපි මන්ත්‍රීවරුන්ට ආරාධනා කළා, ඒ සාකච්ඡාවට සම්බන්ධ  වෙන්න කියලා. මන්ත්‍රීවරුන් කීහිප දෙනෙක් මේ සාකච්ඡාවට සහභාගී වුණා. ඕනම අවස්ථාවක අපි තව සාකච්ඡා කරන්න විවෘත යි. ඒ සංකල්ප පත්‍රිකාව මත පදනම් කරගෙන ඒක තව දියුණු  කරන්න හෝ සාකච්ඡා කරන්න අපි ලෑස්තියි ඒකට අපි විරුද්ධ නැහැ.

ඒ වගේම ඒ සංකල්ප පත්‍රිකාවේ මේ මොඩයුල අන්තර්ගතය පිළිබදව සඳහන්ව නැහැ. සංකල්ප පත්‍රිකාවක තියෙන්නේ කරන්න යෝජිත ව්‍යුහාත්මක වෙනසේ frame work  එක පිළිබදව . මේ සිද්ධිය වාර්තා වුණ වහාම අපි ඒ පිළිබද විමර්ෂණයක් කළා. ජාතික අධ්‍යාපන ආයතනයේ මොඩියුල පිළියෙළ  කිරීමේ යම් ක්‍රියාමාර්ගයක්, ක්‍රමවේදයක්  තියෙනවා. ඒ ක්‍රමවේදය වෙනස්  වුණේ කොහොමද, මේ වගේ දෙයක් අන්තර්ගත වුණේ කොහොමද, ඒකට වග කිය යුත්තේ කවුද කියන එක ගැන කරුණු විමසීමේ විමර්ශනයක් අපි ආරම්භ කළා. ජාතික අධ්‍යාපන ආයතනයේ governing council එක තමා  ආයතනයේ විනය පිළිබද වගකියන්නේ. ඒ ආයතනය විසින් රංජිත් ආරියරත්න හිටපු ලේකම්තුමා  ඊයේ දිනයේදි මූලික විමර්ශන කරන්න පත් කළා. ඒ මූලික විමර්ශනය අනුව මේ සිදුවීම පිළිබද, ක්‍රමවේද වෙනස්වෙලා මේක කොහොමද සිද්ධ වුණේ කියලා පුළුල් විමර්ශනයක් කරනවා.

මේ සිද්ධිය වාර්ථා වු වහාම අපි මේ පොත කලින් සදහන් කළ විදියට මුද්‍රා තැබුවා.  ඒ පොත ළමයින්ට බෙදලා නැහැ.  ඒ පාඩම ඉවත් කරන්නත් ජාතික අධ්‍යාපන ආයතනයේ  අධ්‍යාපන උපදේශක මණ්ඩලයේ  අනුමැතය ලැබුණා.  අපි ඒ පාඩම ඉවත් කරනවා.

මම ඉල්ලා සිටිනවා මෙම සංවාදය කරනකොට අනවශ්‍ය ලෙස වෙබ් අඩවි ප්‍රවර්ධනය කරන විදියට කතා නොකර ඉමු කියලා. මොකද ඒ පාඩම දරුවන්ට යන එක නවත්වලා තියෙන්නේ. ඒ වුණ වැරැද්ද දැක්ක නිසා අපි විමර්ශනය කරමින් ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්න අතර ඒක පිළිබද අපි කතා කරමු. සංවාද කරමු. ඒ ක්‍රියාවලිය තව ශක්තිමත් කරන්නේ කොහොමද කියන එකට යෝජනා තියෙනවනම් ඉදිරිපත් කරන්න.  අපි ඉතාමත්ම සතුටින් ඒවා භාරගන්නවා. ඒ වගේම සංකල්ප පත්‍රිකාව පිළිබද තවත් සාකච්ඡා කරන්න අවශ්‍යනම් ඒකටත් අපි විවෘතයි. නමුත් මේක සාකච්ඡා  කරන ගමන් අනවශ්‍ය වෙබ් අඩවි  තවත් ප්‍රවර්ධනය කරන්නේ නැති විදියට අපි සාකච්ඡා කරමු කියන කාරණය මම මේ අවස්ථාවේ යෝජනා කරනවා.

END/PMMD/MMP/08012026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *