ඇල්ල ඔඩිසි අද සිට යළි ධාවනයට – හිරුණි ලක්ෂිකා
පැවති ආපදා හමුවේ නවතා දමා තිබූ ඇල්ල ඔඩිසි සංචාරක දුම්රිය අද (07) සිට යළිත් ධාවනයට එක් කර තිබෙනවා.
ඒ අනුව එම දුම්රිය සෑම බදාදා දිනයකම අඹේවෙල සිට බදුල්ල දක්වා ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
එමෙන්ම පුලතිසි නගරාන්තර අනිද්දා සිට සෑම සිකුරාදා දිනයකම කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා සහ සෑම ඉරිදා දිනකම මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
කෙසේ වෙතත්, ලැබෙන මගී ඉල්ලුම අනුව ධාවන වාර සංඛ්‍යාව ඉදිරියේදී වැඩි කිරීමට ද සැලසුම් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියේ.
මේ අතර, පාසල් ආරම්භ කෙරුණු පසුගිය 05 වැනිදා සිට සිසුන් සදහා පාසල් පැවැත්වෙන දිනවල මහනුවර සහ වත්තේගම අතරත්, නාවලපිටිය සහ හැටන් අතරත්, දුම්රිය ධාවනය ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත්, පැවති ආපදා තත්ත්වයන් පසු එම මාර්ග කොටස්වල දුම්රියන් ධාවනය වන්නේ පළමු වතාවටයි.
