සුළඟේ වේගයත් ඉහළට : ධීවරයින්ට දැනුම්දීමක් – හිරුණි ලක්ෂිකා

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවැති අඩුපීඩන කලාපය ඉදිරි පැය 12 තුළ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ළගා වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ඒ හේතුවෙන් හෙට සිට උතුර, උතුරු – මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරනවා.

එමෙන්ම, ඌව පළාතේත්, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලට පැයට කි‌ලෝමීටර 50 ක පමණ තද සුළං ඇති විය හැකියි.

මේ අතර අද සිට නැවත දැනුම්දෙනතුරු කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව සඳහන් කළා.

කලාවැවේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කර ඇති අතර උල්හිටිය රත්කිද ජලාශයේ වාන් දොරටු හතම විවෘත කර තිබෙනවා.

මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නීල්දණ්ඩාහින්න සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑම් අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed