ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරයේ ඉදිවන “සත්මහල් සදහම් මන්දිරයට” අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන් මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කෙරේ

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත “සත්මහල් සදහම් මන්දිරය” සඳහා මුල්ගල තැබීමේ පුණ්‍ය මහෝත්සවය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් ඊයේ (03) උත්සවාකාරයෙන් පැවැත්විණි.

​දුරුතු පුර පසළොස්වක පොහොය දිනට සමගාමීව සංවිධාන කර තිබූ මෙම ආගමික වැඩසටහන ආරම්භ වූයේ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේය.

අනතුරුව අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන් මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු කරමින් සත්මහල් සදහම් මන්දිරයේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කරන ලදී.

​බෞද්ධ උරුමය සුරකිමින් අනාගත පරපුර උදෙසා දහම් දැනුම සහ අධ්‍යාත්මික පෝෂණය ලබාදෙන කේන්ද්‍රස්ථානයක් ලෙස මෙම සත්මහල් සදහම් මන්දිරය නිර්මාණය වීමට නියමිතය.

​මෙම අවස්ථාවට කෝට්ටේ රජමහා විහාරාධිපති අළුත් නුවර අනුරුද්ධ නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශයේ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් සහභාගී වූහ.

END/GONP/MMP/04012026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed