භේද අමතක කර, රට ගොඩනැගීම සඳහා අත්වැල් බැඳ ගන්නා ලෙස ආගමික නායකයින්ගෙන් ජනතාවට ඉල්ලීමක්!
ජනවාර්ගික වෙනස්කම් පසෙකලා රට ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කරන ලෙස කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමිපාණන්, සියම් නිකායේ මල්වතු පාර්ශවයේ අනු නායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලා සිටිති.
කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් 2026 සඳහා වීඩියෝ පටයක් හරහා අලුත් අවුරුදු පණිවිඩයක් නිකුත් කරමින්, “බෙදීම්වලින් තොරව රට ගොඩනැගීම සඳහා සියලු දෙනා එක්විය යුතු” බව අවධාරණය කළේය.
සමාජීය හා දේශපාලනික වශයෙන් අප අතර නිර්මාණය වී ඇති සියලු ආකාරයේ භේද අමතක කර, එකිනෙකාට සමාව දීමෙන් අප එක්සත් විය යුතු බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පැවසූූහ.
“ආදරණීය සහෝදර සහෝදරියනි, ශ්‍රී ලංකාවේ සියලුම සහෝදර පුරවැසියනි, 2026 වසර ආරම්භ වී ඇත. නොවැම්බර් මාසයේදී සුළි කුණාටුව ඇති වූ විට අප අත්විඳින ලද භයානක ව්‍යසනය සහ බොහෝ දෙනෙකුට මුහුණ දීමට සිදු වූ තත්‍ය තුළ, සමාජීය හා දේශපාලනික වශයෙන් සහ අනෙකුත් බෙදීම් සම්බන්ධයෙන් අප අතර නිර්මාණය වී ඇති සියලු ආකාරයේ බෙදීම් අමතක කර, එකිනෙකාට සමාව දෙමින්, එකිනෙකා සමඟ එක්සත් වන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටීමි.” යනුවෙන් කීහ.
“2026 වසර අපගේ ජනතාවට සහ අපගේ රටට ප්‍රගතියක් ලබා ගැනීම සඳහා අප සැමට පියවර ගත හැකි වන පරිදි, අපි එකට එකතු වී මෙම රට නව ආත්මයකින් ගොඩනඟමු.”යැයි වැඩිදුරටත් කාදිනල් හිමිපාණන් ආයාචනා කළහ.
එසේම, අස්ගිරි පාර්ශවයේ මහ නාහිමියන්, දිට්වා සුළි කුණාටුවෙන් රට පුරා පුළුල් විනාශයක් සිදු වූ පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා ඉදිරියේ ඇති දැවැන්ත කාර්යය පිළිබදව සිය නව අවුරුදු පණිවුඩය තුුළඉස්මතු කළහ.
“රට නැවත ගොඩනැගීම සඳහා සියලු දෙනා ජනවාර්ගික වෙනස්කම් පසෙකලා එක්ව කටයුතු කළ යුතුය,” සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නාහිමියන් සිය අලුත් අවුරුද්දේ දී අවධාරණය කළහ.
“අලුත් අවුරුද්ද වාසනාවන්ත හා සමෘද්ධිමත් එකක් වේවායි මම අවංකවම ප්‍රාර්ථනා කරමි. අපගේ වැටුණු රට නැවත ගොඩනැගීම සඳහා, අපගේ ජාතියට හිමිකාරිත්වය පිළිබඳ හැඟීමකින් යුතුව, සියලු දෙනාම එක හා සමානව සහයෝගයෙන් කටයුතු කිරීම සහ ආරවුල් හෝ බෙදීම් නොමැතිව එකට වැඩ කිරීම වැදගත් බව මම විශේෂයෙන් අවධාරණය කිරීමට කැමැත්තෙමි,” වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියෝ පැවසූහ.
අනෙකුත් රටවල් ස්වභාවික විපත්වලින් පසු නැවත ගොඩනඟා ඇති ආකාරයෙන් ආශ්වාදයක් ලබා ගනිමින්, සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ අනු නායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම හිමියෝ ද ශ්‍රී ලාංකික ජනතාව ජාතිය නැවත ගොඩනැගීම සඳහා එක්විය යුතු බව ප්‍රකාශ කළහ.
