රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඉතිහාසයේ වැඩිම ඖෂධ නිෂ්පාදනය 2025 වසරේ නිකුත් කරයි!
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සිය ඉතිහාසයේ සුවිශාල ප්‍රගතියක් සනිටුහන් කරමින් 2025 වසර තුළ වැඩිම ඖෂධ නිෂ්පාදන ලෙස ඖෂධ පෙති සහ කරල් මිලියන 3625 ක් නිෂ්පාදනය කිරීමට සමත්වී ඇත.
මීට අමතරව ඉතිහාසයේ එක් මාසයක් තුළ සිදු කළ වැඩිම ඖෂධ නිෂ්පාදනය සිදු කරමින් මාර්තු මස පෙති සහ කරල් මිලියන 385 ක් නිෂ්පාදනය කිරීමටත්, ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍ය සැපයුම් අංශය ලබාදුන් සියලු ඇණවුම් හිඟයකින් තොරව 100 % සැපයීමට ද ක්‍රියාකර ඇති අතර නව ඖෂධ නිෂ්පාදන 05 ක් (Celecoxub Capsules 200 mg, Sitagliptin Tablets 100 mg, Methylprednisolone Tablets USP 4 mg, Folic Acid Tablets 400 mg සහ Montelukast Tablets IP 10 mg) වෙළෙඳපොලට හදුන්වාදීමට ද කටයුතු කර ඇත. එමෙන්ම 2025 වසරේ සමස්ත ආදායම බිලියන 27.6 ක් ඉපයීමට ද සංස්ථාව සමත්ව ඇත.
මෙම කරුණූ අනාවරණය වුයේ ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) අළුතින් හඳුන්වා දුන් නව ඖෂධ වර්ග ද්විත්වයක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත හඳුන්වාදීම සිදු වු අවස්ථාවේ දීය.
නව ඖෂධ අමාත්‍යවරයා වෙත හඳුන්වා දීම ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති මහාචාර්ය ජයන්ත විජයබණ්ඩාර මහතා විසින් සිදු කෙරිණි..
දේශීය හා ජාත්‍යන්තර වෙළඳපල සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගුණාත්මකතාවයෙන් උසස් ආරක්ෂාකාරී, ප්රත්යක්ෂ ඖෂධ නිෂ්පාදනය සහ පහසු මිලට ලබාදීමට ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) හරහා ජපන් රජයෙන් ලැබුණු ආධාර ප්‍රදානයක් මත පදනම්ව 1987 වර්ෂයේදී පිහිටුවා ඇති ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (State Pharmaceuticals Manufacturing Corporation – SPMC) 2025 වසරේ නව නිෂ්පාදනයන් වන Methylprednisolone Tablets USP 4 mg සහ Montelukast Tablets IP 10 mg නැමැති ඖෂධ ද්විත්වය මේ අනුව වෙළෙඳපොලට හදුන්වා දෙනු ලැබීය.
Montelukast Tablets යනු ලියුකොට්රීන් ප්‍රතිග්‍රාහක ප්‍රතිවිරෝධක ඖෂධයක් (Leukotriene receptor antagonist) වන අතර, දැවිල්ල අඩු කිරීමට, හුස්ම ගැනීම පහසු කිරීමට සහ ඇදුම සහ අසාත්මිකතා රෝග ලක්ෂණ වළක්වා ගැනීමට උපකාරී වන බවත්, MethylprednisoloneTablets දරුණු අසාත්මිකතා, ඇදුම සහ අනෙකුත් ශ්වසන ගැටළු, සමහර සමේ ගැටළු සහ ඇතැම් පිළිකා ඇතුළු විවිධ තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන බෙහෙත් වට්ටෝරුවකින් පමණක් ලබා ගත හැකි ඖෂධයක් බව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සඳහන් කරයි.
එමෙන්ම පසුගිය වසරේ The Ceylon National Chamber of Industries – CNCI රන් සම්මානයෙන් පිදුම් ලබා ඇති ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, ඖෂධ නිෂ්පාදනය වෙනුවෙන් National Business Excellence Awards 2026 – NBEA සම්මානයෙන් සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්රශංසනාත්මක ඇගයීම් සම්මානයකට ද පාත්‍ර වී ඇත.
නව ඖෂධ හඳුන්වා දීමේ අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා ඇතුළු රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිලධාරීන් පිරිසක් ද එක්විය.
