රාජ්‍ය ඔසුසල් ජාලයේ 68 වන රාජ්‍ය ඔසුසල් ශාඛාව අද කල්මුණේ නගරයට!

ගුණාත්මක ඖෂධ ජනතාවට දැරිය හැකි, සාධාරණ මිලකට ලබාදීමේ උදාර පරමාර්ථය පෙරදැරිව  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC)  රාජ්‍ය ඔසුසල කල්මුණේ  ශාඛාව අද (30)  ජනතාව වෙනුවෙන් විවෘත කෙරේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රාජ්‍ය ඔසුසල් ජාලයේ 68 වන නව රාජ්‍ය ඔසුසල් ශාඛාව මෙය වන අතර අංක 302, ප්‍රධාන පාර, කල්මුණේ යන ස්ථානයේ මෙම ඔසුසල ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සංකල්පයක් මත ජනතා අවශ්‍යතාවය පරිදි දිවයින පුරා රාජ්‍ය ඔසුසල් ශාඛා ස්ථාපිත කිරීමේ විශේෂ වැඩපිළිවෙළට සමගාමීව මෙම නවතම ඔසුසල ශාඛාව විවෘත කිරීමට කටයුතු සූදානම් කර ඇති අතර, අද (30)  පස්වරු 2.00 ට යෙදෙන සුබ මොහොතින් නව ශාඛාව විවෘත කෙරේ.

මෙම රාජ්‍ය ඔසුසල ශාඛාව මගින් ද පළපුරුදු ඖෂධවේදීන්ගේ සේවාව යටතේ, නියම ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට මිල දී ගැනීමට ජනතාවට හැකියාව ලැබෙන අතර, ඡ්‍යෙෂ්ඨ පුරවැසියන්, ගර්භනී මවුවරුන්, වයස අවුරුදු 05 ට අඩු දරුවන් සඳහා සහ  රණවිරු විරුසර කාඩ්පත් හිමියන් සදහා 5% ක සුවිශේෂි වට්ටමක් සහිතව ඖෂධ නිකුත් කිරීම ද විශේෂත්වයකි.

නවීන තාක්‍ෂණ උපකරණ යොදා ගනිමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ තත්ත්ව රසායනාගායේ දී අවස්ථා හතරක දී ම පරීක්ෂාවට ලක්කීරීමෙන් පසු ඖෂධ වෙළෙපොළට යොමු කරන බැවින් ජනතාවට විශ්වාසයෙන් ඖෂධ ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ශ්‍රී ලාංකීය ජනතාවට උසස් තත්වයෙන් යුත් ප්‍රත්‍යක්ෂ ඖෂධ සාධාරණ මිලට ලබාදීමේ ප්‍රමුඛ අරමුණින් මහාචාර්ය සේනක බිබිලේ මහතා විසින්  1971 වර්ෂයේ දී ආරම්භ කළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වසර 54 කට අධික කාලයක් මෙරට ජනතාවට ගුණාත්මක ඖෂධ සාධාරණ මිලට සැපයීම සිදුකරයි.

මෙම අවස්ථාවට කල්මුණේ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන්, රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය ඖෂධ නීතිගත  සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මනූජ් සී වීරසිංහ මහතා, කළමණාකාර අධ්‍යක්ෂ මෙවන් සම්පත් සුභසිංහාඅරච්චි මහතා ඇතුලුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන්, කල්මුණේ ප්‍රදේශයේ වෙළද ව්‍යාපාරකයින් ඇතුලු බොහෝ පිරිසක් එක්වීමට නියමිත ය.

END/GONP/MMP/30122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *