ජනවාරි 01 වැනිදා සිට මහනුවර පදික වෙළෙඳාම තහනම් – හිරුණි ලක්ෂිකා
මහනුවර නගර සීමාවේ පදික වෙළෙඳාම ලබන ජනවාරි 01 දා සිට තහනම් කරන බව මහනුවර මහ නගර සභාවේ නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක පවසනවා.
මෙයට මාස පහකට පෙර ගත් සභා තීරණයකට අනුව මෙම ඉවත් කිරීම සිදුකරන බවයි හෙතෙම ප්‍රකාශ කළේ.
සභා තීරණය ගැනීමෙන් පසු පදික වෙළෙඳුන්ට ඉවත්වීම සඳහා මාස හයක කාලයක් ලබා දුන් බවත් ඒ අනුව එම කාලය මෙම මස 31දායින් අවසන් වන බවත් නගරාධිපතිවරයා පැවසුවා.
මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිට සහ දළදා වීදියේ අනවසර වෙළඳාම හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටින අතර ඒ සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ නගර සභාවට පැමිණිලි රැසක් ද ලැබී තිබූ බවයි වාර්තා වෙන්නේ.
