Made in Sri Lanka වෙළද ප්‍රදර්ශනය වැලිගම වෙරළතීරයේ දී

දේශිය ව්‍යවසායකයින් දේශිය හා ජාත්‍යන්තර වෙළදපොළ වෙත ප්‍රවේශ කිරීමට සහ ගෝලීය ව්‍යාපාරික ජාලයට සම්බන්ධ වීම සදහා Made in Sri Lanka වෙළද ප්‍රදර්ශනය දිවයින පුරා පැවැත්වෙන අතර මාතර දිස්ත්‍රික්කයේ වැලිගම වෙරළ තීරය කේන්ද්‍රකර ගනිමින් ඊයේ (26) ඇරඹිණි.

මෙම වෙළඳ ප්‍රදර්ශනය හදිසි ආපදා තත්වයෙන් පසු කඩිනමින් දේශීය කර්මාන්ත පුනර්ජීවනය කිරීම සහ දේශීය නිෂ්පාදන ශක්තිමත් කිරීම වෙනුවෙන් වූ ජාතික වැඩපිලිවෙලට සමගාමීව  දෙසැම්බර් මස 26, 27 සහ 28 දිනවල පෙ.ව. 10.00 සිට රාත්‍රි 10.00 දක්වා වැලිගම වෙරළ තීරයේ දී පැවැත්වීමට කටයුතු සූදානම්කර ඇති අතර එහි සමාරම්භක උත්සවය කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) ආරම්භ කෙරිණි.

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA)   ශ්‍රී ලංකාවේ සුළු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය සංවර්ධනය  කිරීම, දිරිමත්  කිරීම, ප්‍රවර්ධනය  කිරීම සහ පහසුකම්  සැලසීම සිදු කරනු ලබන රාජය ආයතනයකි. එම අභිප්‍රාය සාර්ථකව ඉටු කර ගැනීම සඳහා දේශීය ව්‍යවසායකයන්හට දේශීය සහ විදේශීය වෙලඳපොලට තවත් ප්‍රවේශ වීමේ හැකියාව වැඩි කිරීම, පහසුකම්  සැලසීම සහ දිරිමත්  කිරීම සිදු කරනු ලැබේ.

එම අරමුණ සාක්ෂාත්  කරගැනීම සදහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් වාර්ෂිකව දිවයින පුරා “Made in Sri Lanka” අලෙවි ප්‍රදර්ශන සංවිධානය  කරනු ලැබේ.  ඒ අනුව ප්‍රාදේශීය  මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් ‘Made in Sri Lanka’ අලෙවි ප්‍රදර්ශනය සංවිධානය  කරනු ලබන අතර, ඒ හරහා හඳුනාගන්නා ග්‍රාමීය මට්ටමේ  ගුණාත්මක  නිෂ්පාදන ජාතික මට්ටමින්  සංවිධානය  කරනු ලබන ‘Made in Sri Lanka’ අලෙවි ප්‍රදර්ශන සදහා තෝරාගනු ලැබේ.

ඒ අනුව එම තෝරාගත් දේශීය නිෂ්පාදන ජාත්‍යන්තරයට  හදුන්වා දීම සදහා ‘Made in Sri Lanka’ අලෙවි ප්‍රදර්ශනය මෙවර දෙස් විදෙස්  සංචාරක ආකර්ශනය දිනාගත් සුන්දර ගමනාන්තයක් වන මාතර දිස්ත්‍රික්කයේ  වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් මාතර දිස්ත්‍රික්  ලේකම් කාර්යාලය, වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සම්පත් බැංකුව, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය යන රාජ්‍ය  සහ පෞද්ගලික ආයතන කිහිපයක් සමග සහයෝගයෙන් මෙම වෙළද ප්‍රදර්ශනය සංවිධානය කරයි.

ගුණාත්මක තත්ත්වයේ  දේශීය නිෂ්පාදන සහිත වෙළෙඳ කුටි 128 කින් සමන්විත මෙම අලෙවි ප්‍රදර්ශනයේ දී  පහතරට සම්ප්‍රදායන් කැටිකොට ගත් දේශීය සංස්කෘතික  සංදර්ශනයන්, DJ සංගීතය, කැලිප්සෝ සංගීතය සහ සජීවී සංගීත ප්‍රසංගයක් ද පැවැත්වීමට නියමිතයි.

මෙම අළෙවි ප්‍රදර්ශනයට සමගාමීව සජිවී ආහාර සැකසුම් කුටි රාශියක් ද, වැලිගම වෙරළ භූමිය තුල  ස්ථාපනය කර ඇත. එසේම ප්‍රදර්ශනය හරහා මිල දී ගන්නා භාණ්ඩ විදේශ රටවලට  ප්‍රවාහනය කිරීම සදහා එම පරිශ්‍රය තුළ කුරියර් පහසුකම් ද සලසා ඇත.

මේ අවස්ථාවට ව්‍යවසායකයින්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා,  වැලිගම නගරාධිපති මොහොමඩ් අෆ්රාස් මහතා ඇතුළු මහජන නියෝජිතයින්, මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතා, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් අබේසේකර මහතා  ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

END/GONP/MMP27122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *