මාතලේ – කොළඹ කෝච්චිය දින 26ක් සිර වෙලා
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පසුගිය නොවැම්බර් මස (27) වැනිදා අළුයම වත්තේගම දුම්රිය ස්ථානයේ නතර වූ මාතලේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රිය දින 26 ක් තිස්සේ එම දුම්රිය ස්ථානයේම සිර වී තිබෙනවා.
මහනුවර – මාතලේ දුම්රිය මාර්ගය දැඩි ලෙස ආපදාවට ලක්ව තිබීම නිසා මෙම දුම්රිය කිසිදු පැත්තකට ගෙනයා නොහැකි තත්වයක පවතිනවා.
කෙසේ නමුත් දුම්රිය යථා තත්ත්වයෙන් පවතින බවයි වත්තේගම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති මධුරංග ආමරසේන පවසන්නේ.
නොවැම්බර් මස 27 වැනිදා අළුයම 5.30ට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ මෙම දුම්රිය වත්තේගම දුම්රිය ස්ථානයේ නවත්වනවාත් සමගම දුම්රිය මාර්ගයට ගස් සහ පස් කඳු කඩා වැටුණ බවත් ඉන් පසුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කළ නොහැකි තත්වයක් ඇති වූ බවයි වත්තේගම දුම්රිය ස්ථානාධිපතිවරයා පැවසුවේ.
මහනුවර දුම්රිය මාර්ගය වත්තේගම යටවර ප්‍රදේශයෙන් දැඩි ලෙස හානියට පත්ව ඇති අතර එම මාර්ගය යථා තත්ත්වයට පත් කිරිමට කාලයක් ගත වනු ඇති.
අද (22) දහවල් වන විටත් මෙම මාර්ගයේ ආපදාවන් යථාවත් කිරිමට පියවර ගෙන නොතිබුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
නමුත් මාර්ගයට වැටී ඇති පස් ඉවත් කිරිම සහ ගස් කැපීම වැනි දේ සිදු කරමින් තිබෙන බවයි ඔහු පවසන්නේ.
