කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාසවල යටිතල පහසුකම් සංවර්ධනයට පියවර
කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව – සාලමුල්ල, ‘ලක්සඳ සෙවණ’ සහ මාදම්පිටිය – තොටලඟ ‘මුවදොර උයන’ මහල් නිවාස සංකීර්ණවල දීර්ඝ කාලීනව පවතින අඩුපාඩු සහ ගැටලු පිළිබදව සොයා බැලීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුලු තවත් පාර්ලිමේන්තු සහ කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරු පිරිසක් පසුගියදා (19) එම ස්ථානයන්ට පැමිණියහ.
මෙම නිවාස සංකීර්ණයන්හි පියගැටපෙල, විදුලි සෝපාන පද්ධතිය, ජල සහ විදුලි සැපයුම්, මලාපවහන පද්ධතිය, දෛනික කසළ බැහැර කිරීමේ ක්‍රියාවලිය, ආරක්ෂක වැඩ පිළිවෙල, මත්පැන් හා මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය මෙන් ම ගොඩනැගිල්ලේ ඉරි තැලීම්, ජල කාන්දු, පලුදුවීම් ඇතුළු අඩුපාඩු පිළිබඳව අමාත්‍යවරයා ඇතුළු පිරිස නිරීක්ෂණය කිරීමෙන් පසු මේ පිළිබඳව රාජ්‍ය නිලධාරීන්, මහල් නිවාස හිමියන්ගේ සමිති නියෝජිතයින් සහ නිවාසලාභීන් සමග සාකච්ඡාවක ද නිරත විය.
වසර පහකින් කිසිදු ප්රතිසංස්කරණයකට ලක්නොවී ඇති තොටලඟ නිවාස සංකීර්ණයේ සේවා ව්‍යූහය යථා තත්ත්වයට පත්කර ගැනීමට අවශ්‍ය කෙටිකාලීන හා දිගුකාලීන පියවර පිළිබඳව මෙහිදී අදාල පාර්ශ්ව සමග සාකච්ඡා කෙරිණි.
මෙහිදී බිමල් රත්නායක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ,නිවාස සංකීර්ණය විධිමත්ව පවත්වා ගැනීමට ඇත්ත උත්තර සෙවිය යුතු බවයි.
එමෙන්ම ඉරි තැලීම්, ජලකාන්දු ඇතුලු පවතින අවදානම් තත්ත්ව පිළිබඳ තාක්ෂණික වාර්තාවක් සැපයීමට නාගරික සංවර්ධන අධිකාරියේ සහ කොළඹ මහ නගර සභාවේ නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.
එමෙන් ම තිරසර නාගරික සංවර්ධන වැඩ පිළිවෙලකට රජය මගින් සැළසුම් සකස්කර ඇති බවත් ජනතාවගේ සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට රජය මැදිහත් වන බව පැවසූ අමාත්‍යවරයා, මහල් නිවාස නවාතැන් ගැනීමට පමණක් නොව ආකර්ශණීය, සුන්දර පරිසරයක් තුළ පවත්වාගෙන යාමට අවශ්‍ය මානව ආකල්ප වෙනස්වීමේ අවශ්‍යතාවය ද පැහැදිලි කර දුන්නේය.
පවතින ගැටලු සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා 2026 ජනවාරි මස 06 වන දින නිලධාරීන් සහ නිවාස සංකීර්ණ නියෝජිතයින් එක්ව සාකච්ඡා කර විසදුම් ලබාගැනීමට සියලු පාර්ශව මෙහිදී එකඟතාවයට එළැඹිණි.
